Saturday, June 20, 2020

🔴37. කාලය.🔴
======
“මම හාමුදුරුවන්ගේ ලිපි කියවලා තියෙනවා...
එව්වා තවත් අයගේ අත්දැකීම් නිසා අපට එව්වාගෙන් ගන්න තියෙන් දේවල් බොහෝමයි. ගොඩක් පිං හාමුදුරුවො ඒ කරන සේවයට.“ ඇය කීවාය. ☺️
ඇය, මා පසුව දැනගත් පරිදි ගම්පහ ප්රදේශයේ ප්රභූ පවුලක ධනවත් යුවතියකි. ඇයට ද මේ වෙනවිටත් ව්යාපාර 3කට වඩා තිබේ. 😲
“අගය කිරීමට ගොඩක් ස්තූතියි මහත්මිය...
ඉතිං... මොනවද කතා කරන්න ඕනි කීවේ...“ මම ඇසුවෙමි. 🤔
“මට මේකට හාමුදුරුවන්ගෙන් හොඳ උත්තරයක් ඕනි.
මම හිතන විදිහ හරිද වැරදි ද කියලා දැන ගන්න තමයි මට අවශ්ය“... ඇය කීවාය...
“ම්ම්ම් ...
නොදාන්නාම කෙනෙකුට මුළ ඉදලා විස්තරයක් කියන විදිහට, මුලින්ම පටන් අරගෙන කියන්නකො...“ මම කීවෙමි.🙂
“මම හාමුදුරුවනේ ටිකක් හොඳට සල්ලි තියෙන පවුලක කෙනෙක්...
“එත් මම දැන් බඳින්න යන කෙනා පිරිවෙන් ගුරුවරයෙක්... ඒක නිසයි මට මේ ගැන හාමුදුරුවෙ එක්ක කතා කරන්න තවත් හිතුනේ...“
“එයා ගණිතය උගන්වන කෙනෙක්... “
“maths ඉගෙන ගත්ත උපාධිධාරියෙක්... ඒයාට ඊට වඩා ගොඩක් ගොඩක් ඉහළට යන්න හැකියාව තිබ්බත්...“
“එයා කියන්නේ, මට මේ රස්සාව වියදමට ඇති... සති අන්තයට individual classes ටිකක් කරනවා... ඒකෙන් එයාට හොඳ ගානක් ලැබෙනවා එහෙම කියලා...“ ඇය කීවාය.🙂
“මොකද ඉතිං එයා පිරිවෙන් රස්සාව තෝරාගෙන තියෙන්නේ....“ මම ඇසීමි.
“මුල් කාලේ campus out වෙච්චි ගමන් ගිහන් තියෙන්නේ වෙන හොඳ එකක් හම්බෙනකල් නිසා... එයාගේ හිතවත් ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ ඉල්ලීමට...“
“පස්සේ පොඩි සාදුලා එක්ක ඉද්දි එයාට ඒකට ආසා හිතිලා...,
එයා කියනවා ඒයට ඒක පිනක් නිසා... වෙනත් රස්සාවකට යන අදහස අතහැරියා කියලා...“
“වැදගත්ම දේ එයා කියන, මෙතැන මට ලොකු වැඩක් නැ... මම රස්සාව කරන්නේ හරිම ‘මානසික නිදහසින්‘ කියලා...❤️
එයාට ඉන්නේ එයාගේ තාත්තා විතරයි... ඒ නිසා එයාට ලොකු පවුල් බරක් නැ නඩත්තු කරන්න...“ ඇය කීවාය.
“කොහොමද අඳුනා ගත්තේ....“ මම ඇසුවෙමි.
“එයා, අපෙ printing house එකට ආවා පිරිවෙනක banner වගයක් print කරගන්න.
එයා ලස්සන කඩවසම් කෙනෙක්...
එයා ඇවිත් හිටියේ තවත් පොඩි සාදු කෙනෙක් එක්ක... ඒ සාදු එයාට ‘සර්.. සර්.. “ කියලා කතා කරද්දි මට ආවේ කුතුහලයක්...“
“ඉතිං.. එහෙම හඳුනා ගත්තු එක තමයි අද කසාදය දක්වා ගියේ..“
“එහෙම දුර දිගට සම්බන්ධය යන්න හේතුවක් තිබ්බද ? මම ඇසුවෙමි.❤️
“එහෙමයි...
එයාට වෙලාව තිබ්බා” මම කියන ඕනිම වෙලාවක මාව හම්බෙන්න... “☺️
“ඒ කීවේ...“🤔
“ඒ කීවේ හාමුදුරුවනේ... පිරිවෙන් තියෙන්නේ හැන්දෑවෙනේ...
එයා උදේ නිදහස්...
මගේ වැඩ මට ගොඩක් වැටෙන්නේ හැන්දෑවට...
ඒ වාගේම... මම ඉරිදට වාගේ ගොඩක් වෙලාවට... රෑ වෙනකල් එහෙ මෙහෙ ගියපු කෙනෙක්...
මෙයාට ඒවාට වෙලාව තිබ්බ. මොකද මෙයාට සඳුදා උදේට නැගිටින්න ඕනි නෑනේ...
ඇය සිනාසුනාය...“😁
‘අහ්.. අපටත් උදේ වරුවේ පංසල්වල දාන මාන පිංකම් තියෙන නිසා තමයි පිරිවෙන් හවස තියෙන්නේ...
ඉතිං...“ මම කීවෙමි. 👍
“මට කලිනුත් සම්බන්ධකම් කීපයක් තිබ්බා...
අපේ පවුල්වලින් සම්බන්ධ වෙච්චි ධනවත් අය. නමුත් ඒ අයට දෙන්න බැරිවෙච්චි ලොකුම දේ තමයි “කාලය“.
මට ඕනි “කාලය“.🔻
“ම්ම්ම්ම් අපූරුයි...“ මම කීවෙමි.
“අපේ හාමුදුරුවනේ මට තව දෙයක් කියන්න ඕනි...
මගේ තාත්ති මට ගොඩක් ආදරෙයි...
මට හැමදේම අරගෙන දෙනවා...
මේ තියෙන car එකත් businesses එයා මට දුන්නු දේවල්...
නමුත් එයා මට නොදුන්නු දේ තමයි එයාගේ “කාලය..“
මගේ අම්මට වෙනත් සම්බන්ධයකුත් තිබිලා, මම පොඩි කාලේ ...
ලොකු රණ්ඩුවක් වෙලා.. කාලයක් වෙන්වෙලත් ඉඳලා තමයි දැන් ආයෙත් සමාදාන වෙලා ඉන්නෙ...
එයා තාත්තාගෙන් ඉල්ලුවෙත් “කාලය“. තාත්තාට එයාට, ‘කාලය‘ දුන්නේ මටත් වඩා අඩුවෙන්...“
“සල්ලි ජිවිතය කරගත්තු මිනිහෙක් නම් ඔයා බඳින්න එපා දුව’ කියන එක... එයා නිතර... නොයෙක් විදිහට මට කීවා...“
“ඇති තරම් වියදමට සල්ලි නැති කෙනෙක් බඳින්න පුළුවන් ද එතකොට...?“ මම ඇසුවෙමි.🤔
“නෑ හාමුදුරුවනේ...
මට සල්ලි නැති කෙනෙක් එක්කත් ජීවත් වෙන්න බෑ. මගේ අවශ්යතාත් ගොඩක් ඉහළයි...“
“එයත් හම්බ නොකරනවා නෙවෙයි...
තවම වැඩි වියදම් අවශ්යතාවක් නැති නිසා වෙන්නැති මාසේකට 50ට වඩා එයා හම්බ කරන්නෑ....
අද කාලේ මගේ වියදමට 50 සතියකටත් මදි“
“ම්ම්ම්...“😲
“ඒ වාගේම එයා පංසල, හාමුදුරුවො.. පොඩි සාදු ඇසුරු කරන නිසා වෙන්නැති... හරිම ධාර්මික කෙනෙක්...
සෑම අංශයකින් වාගේ දැනුමත් ඉහලයි...“
“එතකොට දැන් ඔබට තියෙන ගැටලුව මොකද්ද ?“ මම ඇසුවෙමි.🤔
“මෙයා අනාගතේදී වෙනස් වෙයි ද කියන බය තියෙනවා...
ඒ වාගේම තාත්තා කැමැතිත් නෑ මෙයාට...
එත් මට තනි තිරණයක් ගන්න බැරි කමක් නැ... මොකද මම හම්බ කරනවානේ...
අනික තමයි.... මෙයා මට වඩා පහළින් ඉන්න එකත් මට වෙලාවකට කරදරයක්... ඇය කිවාය.😎
“පහළින් කීවේ?“🤔
ධනයෙන් බලයෙන් තමයි... එයාට තියන්නේ පොඩි මොටර් සයිකල් එකක්...
මට මගේ යාලුවන්ට එයාව අඳුන්වා දෙද්දි සමහර විට “මදි“ කියලා හිතෙනවා...“😥
“ම්ම්ම්...
එතකොට වේළාවකට කරදරයක් කීවේ ඒකද,
මොකද්ද එතකොට කරදර නොවෙන වෙලාව...“
ධනයෙන් බලයෙන් මට පහළ නිසා ද මන්ද, එයා මට යටත් වාගේ...
මම කියන දේ අහනවා...
කරන්න ඕනි දේවලුත් මගෙන් අහල තමයි තීරණය කරන්නේ... හරියට මම පිරිමියා ඒයා ගෑනි වාගේ...“ ඇය කීවාය.
“එතකොට ඒක ඔබට හොඳ ද?“
“මගේ තාත්තාගේ - අම්මාගේ පවුල් ජීවිත බලද්දි, මම හරිම ආසයි එහෙම පිරිමියෙක්ට...
මොකද එයාගේ ජිවිතේ අංක එක මම. එයාගේ කාලය තියෙන්නේ මට...
මම කෑ ගැහුවත් සමහර විට, එයා මට කෑ ගහන්නේ නැතිම තරම්....“
“එත් මගේ හොදම යාලුවෙක් කියනවා, එහෙම පිරිමි බැඳලා වැඩක් නෑ කියලා...“
“එතකොට දැන් ඔබට තියෙන්නේ ඔය ගැටලු දෙක ද?
“එහෙමයි...“ 😐
“පළවෙනි ගැටලුවට... ඒ කියන්නේ අනාගතේ දී වෙනස් වෙයිද කියන එකට නම් ඇත්තටම මේ ලොකේ කාටවත් උත්තරයක් දෙන්න බෑනේ නේද?
“සියල්ලම වෙනස්වෙන සුළුයිනේ... එතකොට මෙයා විතරක් වෙනස් නොවෙයි කියන එකට කාටවත් උත්තර දෙන්න බැ...
කාරණය නම්... මෙයා නොවෙයි... ඔබ බඳින ඕනෑම කෙනෙක් වෙනස් වෙනවා... ඒක ලෝක ස්වභාවය... ඒකට අඩු වැඩි වශයෙන් මූණ දෙන්න වෙයි....“
එහෙමයි... 😐
“එහෙමයි කියලා හරියන්නෑ... දැඩිව හිතේ තියාගන්න... ඕනෑම කෙනෙක් , ඕනෑම දෙයක් වෙනස්වෙන සුළු බව... එතකොට අපි ඒ මත්තේ ඕනිවට වඩා නහින එක සහ, ඒ දෙයටක් කරදර කරන එක නවතිනවා.
depression වලටත් හේතුව ඔය වාගේ දේවල ගැන අප්රමාණව හිතන එක...🙂
“එතකොට දෙවැනි කාරණවට නම් බුද්ධාගමට අනුවම උත්තරයක් තියෙනවා...
“ඉස්සරියවොස්සාගෙන“ කියලා තමයි සිඟාලෝවාද සූත්රයේ සඳහන් වෙන්නේ..🔻
ඒ කියන්නේ “ගෘහමූලිකයා“ කියන චරිතයක් බුදුසමය අනුව නෑ. 🔻
ගෘහමූලිකාවක් පමණයි ගෙදරකට සිටිනේනේ...
ඒ කීවේ... සැමියාගෙන් ඉටුවිය යුතු යුතුකම් 5න් එකක් වෙන්නේ.. තමන්ගේ භාර්යාවට ගෙදර අධිපතිත්වය පිරිනැමීම...
දැනට ග්රාම සේවක උනත් අහන්නේ ගෘහමූලිකයා කියලානේ.. ඒ කියන්නේ තාත්තානේ...
“නෑ... බුදුසමය අනුව එහෙම එකක් නැ... අධිපතිනියක් විතරයි ඉන්නේ...
එකනේ ඉස්සර තාත්තලා සම්පූර්ණ පඩිය ගෙනත් අම්මා අතට දුන්නේ...
තාත්තට වියදමට ඕනි නම් අම්මාගෙන් තමයි ඉල්ලාගන්න ඕනි...
ඒ කියන්නේ පවුලක් උනාට පස්සේ බිරිඳ අංක 1. සැමියා තමයි අංක 2. 😲
“දැන් එකේ අනික්පැත්තනේ හාමුදුරුවනේ... ගැහැනු එපැයි පිරිමින්ගේන් අවශ්යතාවලට කණුකුණු ගාලා ඉල්ලන්න...“😥
“ඔව්... ඒ නිසා තමයි ඔබට යාලුවොත් එහෙම කියන්නේ...
ඒක නිසා ඔබට ඇත්තටම සතුටුවෙන්න පුළුවන් ඔබට ගෙදර ප්රධානත්වය ඒ කියන්නේ ඔය දෙන්නා අතරින් ඔයා ප්රධාන වීම... සහ ඒක දෙන්නට ලෑස්ති ස්වාමියෙක් ලැබීම...
“කොහොමත් අපි අවට වටපිටාව දෙස බැලුවොත්...
පවුල් අතරින් 90% විතර ඉතා හොදින් රැකිලා... දරුවො හොදට හැදිලා ඉන්නේ.. අම්මාගේ ක්රියාකාරම් මත තමයි.
පවුල වෙනුවෙන් තාත්තලාගේ දායකත්වය මුදල් හම්බකිරීම පමණයිනේ...“ 😎
“එහෙමයි...“
“ඒ නිසා ඔය හීනමානය අතහැර ගන්න... ඒ වාගේමම මගේ අවවාදය ඔහුටත් නිසි ගෞරවය ඔබ දෙන්න...
‘සැමියා - බිරිඳ’ කියන සංකල්පය අමතක කරලා දාන්න... ❤️
“ඒ කීවේ හාමුදුරුවනේ ඇය පුදුමයෙන් ඇසීය...“
“යහලුවො වාගේ හිතන්න... හොදම යාලුවා...“ ❤️
අපට පාසලේ කාලේ ඉදලා මැරෙනකල් ඉන්න හොදම යාලුවො ඕනි තරම් හොයාග්තතෑකි. ඒ අතර තියෙන බැඳීමත් පුදුමාකාරයි.
නමුත් හොද සැමියා බිරින්දෑවරු තමයි හොයාගන්න දුර්ලභ...
‘ගෑනි-මිනිහා‘ කියලා හිතන්න ගත්තු ගමන් ප්රශ්න ගොඩක් තියෙනවා...
“සඛී භාර්යා වාගේ... ඔයා හොඳම යාලුවෙක් වෙන්න එයාට... එයාවත් හොදම යාලුවා කරගන්න... ජිවිතය තව පහසුවෙයි...“
“අනික ඔබ ඉල්ලන්නේ ඔහුගේ “කාලය“ නම්... අපි වැඩි පුරම කාලයක් ඉන්නේ යාලුවොක් එක්ක මිසක් husband & wife එක්ක නෙවෙයි.
එහෙමයි හාමුදුරුවනේ... නොසිතුව පැත්තක්... ගොඩක් පිං.
තෙරුවන් සරණයි.
2020. 06.20
------------------------
🌹🌹🌹
(හෙරලි.)
(නම්ගම් සියල්ල මන:කල්පිතය. සත්ය කතා කිහිපයක් පදනම් කර ගත්, උපදේශනාත්මක අවශ්යතාවය පිණිස, අනන්යතාවය හඳුනා ගත නො හැකි සේ, නිර්මාණය කරන ලද කල්පිතයක් බව කරුණාවෙන් සලකන්න)
තවත් කෙනෙකුට කියවන්න share කරන්න.
අදහස් දක්වන්න.
තෙරුවන් සරණයි.🙏
Rathanathissa Thero.

36. 🔴තේ කොප්පෙන් අපායට. 🔴(සද්ධාසීල හිමියන්ට පිළිතුරු 2.)
======================
“අවසරයි හාමුදුරුවනේ...“ ඇය ඉතා උද්යෝගයෙන් පසුවේ.🙏
“ඊයේ මම කියලා දුන්නානේ අක්කාට, ඇයි එවැනි දේශනයක් කළේ කියලා, අර හුරතල් සිටුදියණියන්ට...“ මම කීවෙමි.
(කලින් ලිපිය කියෙව්වේ නැති නම් පහල Link එකෙන් ගොස් කියවා එන්න. මෙහි මුල් කොටස එහි ඇත.)
https://www.facebook.com/permalink.php?story_fbid=211043516938290&id=117046089671367&__tn__=K-R
“එහෙමයි... ඒ සිටු තාත්තා, තමන්ගේ දුවලා ගැන කොච්චර හිතනවාද කියනවානම්, අප තථාගතයන් වහන්සේ වැනි කෙනෙක්නේ වඩම්මන්නේ තමන්ගේ දුවලාට අවවාදයක් දෙන්න. තාත්තලා එහෙම තමයි හාමුදුරුවනේ, දුවලාට හරි ආදරෙයි.“ ඇය කීවාය.🙂
“ ඉන්දියාවේ ඒකාලේ නැන්දම්මාගේ ගෙදර තියෙන situation එක ඒ සිටු තාත්තා දන්නවානේ... එතකොට හුරතලේට හැදිච්ච නිසා තාත්තා කියන දේවල් අහන්නෙත් නැතුව ඇති. පවුලේ සැමගේ ශාස්තෘ වේචිචි තථාගතයන් වහන්සේ කීවොත් දුවලා පිලිගනීවි කියලා දුග්ගහ සිටුවරයා හිතන්නැති.“ මම කීවෙමි.🙂
“එහෙමයි හාමුදුරුවනේ... background එක පැහැදිලි... මොනව ද ඉතිං ඒ තියෙන කරුණු.“ ඇය ඇසුවාය.🙂
“දැන් මේ පොඩි කෙල්ලන්ට අද කාලේ වාගේම ගැටලුවක් ඇති. අනික ඉතිං අවුරුදු 16ක් වාගේනේ...
“ඇයි තාත්ති ඔයා අපි ගෙදරින් එලවන්න හදන්නේ. අපිව ඔයාට බරක් ද“ වාගේ දෙවල් අහන්නැති. මේක තථාගතයන් වහන්සේ තේරූම් ගත්ත නිසා තමයි දේශනාව ආරම්භ කරනනේ මෙහෙම...“🙂
“දරුවනි, ඔබලාගේ දෙමාපියො ඔබලාට සැමියෙක් දක්වන්නේ, ඔබලා ගැන තියෙන අනුකම්පාවෙන්, ඒ වාගේම ඔයාලට ආදරයෙන්, හිතවත් කම නිසාවෙන්“ කියලා හිත හදනවා...
මොකද අවවාද අහන්න නම් ඉස්සරවෙලා මේ කෙල්ලො ටික කසාද බදින්නේ ඇයි කියලා දැනගෙන ඉන්න එපැයි...“ මම කීවෙමි.☺️
“එතකොට අර වැලිමඩ හාමුදුරුවො කියන්නේ පැනලා යන්න බැ කියලා, දෙමාපිය කැමැත්තෙන් කරන්න ඕනි එකක් කියලා..“ ඇය ඇසුවාය.
“ඒක වැරදි. ඒ හාමුදුරුවො කියන්නේ පොදු සම්මත කතාව. දෙමාපියො කැමැත්ත ඇතිව බදින්න ඕනි කියලා. හැබැයි සූත්රයේ එහෙම එකක් නැ. ඒක බොරු.“😅
“තාත්තා ප්රශ්නේ ඇහුවේ. දූලාට උත්තරේ හම්බෙන්නේ කියලා.. ඒ හාමුදුරුවො කියන්නේ...“ ඇය කීවාය.😅
“නෑ එහෙම එකක් නැ. ඒ හාමුදුරුවො වැරදි අවබෝධයක ඉන්නේ. මම ඊයේ කිවේ (35 වෙනි ලිපියේ) තාත්තා බුදුන්වහන්සේගෙන් කරන්නේ ඉල්ලීමක්. ඒක තාත්තාම කියනවා අවවාදයක් දෙන්න කියලා. ඒක දූලත් දන්නවා.“☺️
“පාලි භාෂාව, classical language එකක්. ලතින් වාගෙ. ඔනි ඕනි විදිහට ඒවාට අර්ථකතන දෙන්න බැ අක්කෙ. යම් වචනයට අර්ථකථනය දෙන්න කලින් අටුවාවත් බලන්න ඕනි. එංගලන්ත මුද්රණය (PTS) පවා තියෙන්නේ අපේ සිංහල අටුවාව. ඒක නොබලා බණ කීවාම ඔහොම වෙනවා. ඒ නිසා ඒක හරියට පාවිච්චි කරන්න ඕනි. අපි අවුරුදු 15ක් පාලි ඉගෙන ගත්තු අය. ඒ නිසා ඔයාට මම කියන අදහස එක්ක සූත්රය සන්සන්දනය කරන්න පුළුවන්“ 
“ඒවාගේම පාලි කියන්නේ දුප්පත් මිනිස්සුන්ගේ භාෂාව, සංස්කෘත පෝසත් මිනිසුන්ගෙ, කුලයෙන් ඉහල අයගේ භාෂාව. ඉතිං පාලියට අඩුම ගානේ අක්ෂර මාලාවක්වත් නැ. ව්යාකරණත් නැ. අදටත් පාලියට තමන්ගේ කියලා අක්ෂර වර්ගයක් නැ. ව්යාකරන හැදුවේ සංස්කෘත හා ත්රිපිටකය දිහා බලාගෙන. පසුව තමයි එව්වා ඔක්කම හැදුනේ, එත් බුදුහාමුදුරුවො තෝරාගත්තේ දුප්පත් මිනිසුන්ගේ භාෂාව බණ කියන්න. ඉතිං ඕනි ඕනි විදිහට අර්ථ කියන්න බැ ඒවාට, අටුවාවෙන් තොරව... මොකද සංකීර්ණයි. ඉතිං හිතාගත්තෑකි නේද ඉස්සර ඉන්දියාවේ ගෑනුන්ගේ තත්ත්වය, බුදුන්ගේ භාෂාව මෙහෙම නම්.“
“ඒ වැලිමඩ හාමුදුරුවන්ට බණින ගෑනු ඔව්වා දන්නෑ හාමුදුරුවනේ.“ ඇය කීවාය 😥
“ ඒක නිසා පැනලා යන්න එපා කියලා ඒකේ නැ. ඒ අර්ථයෙන් නෙවෙයි සූත්රයේ ඒක තියෙන්නේ. ඒක ඒ හාමුදුරුවන්ගේ පෞද්ගලික මතය.“ මම කීවෙමි.
“එහෙමයි...“ 🤐
“තස්මා තිහ කුමාරියො එවං සික්ඛිතබ්බං“ ඒ නිසා කුමාරිකාවනි, මෙසේ හික්මිය යුතුය. ඉතිං මෙහෙම කළයුතුය. කරන එක නොකරන එක එයාලගේ වැඩක්.
බුදු හාමුදුරුවො මේ විස්තර කරලා දෙන්නේ අවුරුදු 16 කෙල්ලන්ට එදා ඉන්දියාවේ තිබ්බ තත්ත්වය. ඒ චාරිත්ර. නැතුව බුදුන්වහන්සේගේ අදහස් නෙවෙයිනේ. උන් වහන්සේ අන්තිම කරුණු ටිකක අලුත් feminists අදහස් ටිකක් දානවා. එත් බුදුන් වහන්සේට උනත් ඉන්දියාවේ සමස්ථ සංස්කෘතිය වෙනස් කරන්න බෑනේ.“☺️
“ ඒ වුනාට හාමුදුරුවනේ බුදුන් වහන්සේ නේද කාන්තාවට විමුක්තිය දුන්නු කෙනා.“ ඇය කීවාය.🙄
“ඒකත් පොඩි විකාරයක්නේ අක්කේ.
බුදුන් වහන්සේව විද්යාඥයෙක් කරනවා, දාර්ශනිකයෙක් කරනවා, දොස්තර කෙනෙක් කරනවා, කාන්තා විමුක්තිවාදියෙක් කරනවා., දේශපාලන දර්ශනයක් දේසනා කරපු කෙනෙක්, අර්ථික දර්ශනයක් දේශනාකරපු කෙනෙක්, මනො උපදේශකයෙක් කරනවා. ඔව්වා ඔක්කම විකාර...“😅
“එතකොට... බුදු හාමුදුරුවො කවුද?“ ඇය ඇසුවාය.🤔
‘උන්වහන්සේ ලෝකයට පහළ වුනේ නැවත ඉපදීම කියන එකට විරුද්ධව සටන් කරන්න.
“පුබ්බෙචාහං එතරහිච දුක්ඛඤ්ච දුක්ඛනිරෝධඤ්ච පඤ්ඤපෙමි.“ කියලා උන්වහන්සේ කීප තැනකම කියෙනවානේ.
ඉස්සරත් දැනුත්, මම කරන්නේ දුකත් එහි නිරෝධයත් (නැතිකිරීම) පැහැදිලි කරන එක.
ඊට පසසේ තමයි අනික් ඔක්කම. ගෑනුන්ට විමුක්තිය ද පිරිමින්ට විමුක්තියද කියන එක අදාළ නැ. සාංසාරික දුක හැමෝටම පොදුයි. නැවත ඉපදීමක් පිළිගන්නා ඕනිම කෙනෙකුට මේ ධර්මය උන් වහනසේ දෙසුව. නැතුව ගෑනුන්ට විමුක්තිය දෙන්න හරි ඉන්දියන් සමාජය වෙනස් කරන එක හරි නෙවෙයි උන්වහන්සෙගේ duty එක. ඒක මේ මෝඩ - බුද්ධිමතුන් කවදා තේරුම් ගනීවිද මන්දා.“
“එහෙමයි...එතකොට උන්වහන්සේ නිවනට පාර පෙන්නුවා කියන තමයි නේද මුලට ගන්න ඕනි.“ ඇය කීවාය.
“අන්න හරි. ඒකට පස්සේ තමයි අනික් සුළු සුළු දේශනා ඔක්කම. සමාජයේ අවශ්යතාව හැටිය. මොකද බුදුන්හන්සේට ඕනි සමාජයේ පැවැත්ම නෙවෙයි. නැවැත්ම. ඒක හරි සංකීර්ණ කාරණයක්. බුදුන් මෙලොව ජනිත වෙන්නේ සමාජයේ යහපැවැත්මට නෙවෙයි. නැවත්මට. සසර ගමන නැවැත්වීමට. පැවැත්වීමට නෙවෙයි.“☺️
“එහෙමයි... ඒක තේරුණෙ අද“ ඇය කීවාය.
“නමුත් ගෑනුන්ව, ලමයි හදන්නයි උයන්නයි පාවිච්චි කරපු බ්රාහ්මණ යුගයේ, ගෑනුන්ටත් පිරිමින්ට සමානව බුද්ධිය තියෙනවා. රහත් වෙන්නත් පුළුවන් කියලා, ගැහැනු පිරිමි සමාන කරලා විශාල පෙරලියක් කරේ බුදුන් වහන්සේ. ඒක උන්වහන්සේගේ චරිත ලක්ෂණවලම තියෙනවා. ප්රජාපති රහත් මෙහෙණියට පසු ගමන් යාම හා යසෝදරා දේවියගේ දෙපතුල් ගාවට යාම, තුලින් කාන්තාව ගැන තිබ්බ ආකල්ප වෙනස් කරා.“ 😍
“මොකද, ඒ වෙනකොටත් තිබ්බ හින්දු ආගමේ හැටියට ගෑනුන්ට කිළි ප්රශ්න එහෙම දාලා ගැහැනුන්ව පහත් කරලා තිබ්බා. ඊට අවුරුදු 500 විතර පස්සේ ආපු කතෝලික ආගමෙත් “ජන්ම පාපය එන්නේ ගෑනියක් නිසා. පිරිමියාව වරදට පොළඹවා ගත්තේ කියන්නේ Eva කියන මුල්ම කාන්තාව. අදත් ඒවා වෙනස් වෙලා නෑනේ සංකල්ප. මුස්ලිම් ආගම ගැන අහන්න දෙයක් නෑනේ. ඒකේ හැටියට ගෑනු කියන්නේ පිරිමින්ගේ සැපපහසුවට තමයි මවලා තියෙන්නේ. අඩුම ගානේ අම්මාටවත් තැනක් නෑනේ, මුස්ලිම් සමාජයේ. ඉතිං මෙහෙම තිබෙද්දි වසර 2500ට කලින් බුදුන්වහන්සේගේ මේ උපදෙස් දීම හා චර්යාවෙන් පෙන්නපු දේවල් එක්ක මුළු ලෝකයේම ඉන්න කාන්තාවො බුදුන්වහන්සේට වැන්දට කමක් නැ. ලංකාවේ රැජිනියො 4ක් රට පාලනය කරලා තියෙනවා. අපට ගැහැනු පිරිමි බේදයක් නැ. ඉතිං බුදුදහම එහෙම පෙරලියක් කරේ ආසියාවේ. අදටත් ලෝකේ තියෙනවා ගෑනුන්ට ඡන්ද අයිතියවත් දෙන්නැති රටවල්. නේද?“🤐
“එහෙමයි...“ ඇය කීවාය. 🤐
“ඊළග හරි අපූරු විදිහකට මේක පටන් ගන්නේ බුදුන් වහන්සේ. අර හාමුදුරුවො කියන විදිහට. “තස්ස භවිස්සාම පුබ්බුට්ඨයිනියො.“ තමයි තියෙන්නේ. හැබැයි හාමුදුරුවො ව්යාකරණ නොබැලු නිසා ‘නැගිටපල්ලා“ කියන්නේ බොරුවක්. එහෙම එකක් නැ. 😅
තස්ස කීවේ ඔහුට. අර තාත්තලා හොයලා දෙන ස්වාමියාට. සමහරවිට කවදාවත් දැකපු නැති කෙනෙක්. එදා රෑට තමයි මිනිහා කවුද කියලාවත් දකින්නේ. පුබ්බුට්ඨයිනියො කියන්නේ ස්තීලිංග පදෙන්මයි. කලින් අවදිවන්නියක්. භවිස්සාම කීවේ- වන්නෙමු. කියලා.“☺️
“වන්නෙමු කියලා කියන්නේ කොහොමද හාමුදුරුවනේ...“ ඒක අනාගත කාල, උත්තම පුරුෂ බහුවචනනේ...🤔
“අන්න ඒක තමයි වැලිමඩ හිමියන් පාලි ව්යාකරණ නොබැලූ නිසා වැරදුනු තැන. දැන් මේ අවවාද දෙන background එක කොහොමද කියන්න.“
“රහතන් වහන්සේලා 3 දෙනයි, තථාගතයන් වහන්සේයි. දුවලා දෙන්නෙක් හෝ වැඩි ගණනක්, සිටු තාත්තායි.“ ඇය කිවාය.🙄
“හරි... දැන් මේ අවුරුදු 16ක වාගේ ගෑනු ලමයි ටිකක්, මෝරලා නැ එච්චර. ඒ නිසා තථාතගයන් වහන්සේ මේ පොඩි ඈයොන්ට කතා කරන්නේ බොහොම සමීප ලීලාවෙන්. “දුවේ අපි, ඒ සැමියට මුලින් අවදිවෙන කෙනෙක් වෙමු.- වාගේ අර්ථයකින් කියන්නේ. ඔක්කම එකතුවෙලා කරන දෙයක් විදිහට කියනවා මිසක්, අර හාමුදුරුවො කියන විදිහට ‘විධානයක් නෙවෙයි‘ යෝජනාවක්. ‘අවදිවන්නියක් වෙමු.‘
“නැඟිටපල්ලා නෙවෙයිද?“ ඇය ඇසුවාය.
“නෑ. තථාගත දේශනයෙහි කොහිවත් බල කිරීම් නෑනේ... අනික මේ පදයට තියෙන අටුවා අර්ථය බැලුවාම තේරෙනවා. මේ නැගිටලා කරන්න තියෙන්නේ කුස්සියේ වැඩ කරන්න නෙවෙයි, වැඩකාරකමට ඉන්න අයව ඒ ඒ වැඩවලට යොදවන්න කියලා කියන්නේ...“🤐
“ඉතිං එහෙම එකක් අර වැලිමඩ හාමුදුරුවො කියන්නෑනේ.“ ඇය කීවාය.
“ඒක තමයි අටුවා නොබලන එකේ ගැටලුව...
අපට ඕනි ඕනි හැටියට අර්ථකතනය කරන්න බැ“ අටුවා මිහිදුමහරහතන් වහන්සේ විසින් සම්පාදිත දෙයක්. තුන්වෙනි සංඝායනාවෙ ධර්ම සංවාද වලින්. ඉතිං මේ යන්නේ සිටු පවුලකට ඒ නිසා තේ හදන්න දෙයක් නැ. එහේ වැඩ කරන්න අය ඉන්නවා...
ඒ නිසා මේ කෙල්ලන්ට හොදට නිදාගන්න පුළුවන් එලි වෙනකල්, දැනුත් එහෙම වෙන්නැති. එත් බැන්දට පස්සෙ නැන්දම්මගේ ගෙදර ඒක හරියන්නෑ දුවේ කියලා තමයි කියන්නේ... තේරුණා ද?“🤔
“එහෙමයි... මේක අතීත ඉන්දීයාවේ ධනවත් පවුලකට දුන්නු පෞද්ගලික අවවාදයක් නේද හාමුදුරුවනේ..“ ඇය කීවාය.🙄
“ඒකනේ මම කීවේ, මේක පොදු සමාජයට කොච්චර ගලපන්න හැකිද කියලා බලන්න කියලා.“🤔
“නමුත් හාමුදුරුවො කියන ‘පච්ඡානිපතනියො කථාව හරි.“ කුස්සියේ වැඩ ඉවරද කියලා බලලා නිදාගන්න කියලා තමයි කියන්නේ. “
“එතකොට සැමියාගෙන් තේ බීලා නිරයේ උපදින කතාව.“ ඇය ඇසුවාය.😁
“එහෙම එකක් සුත්රයේවත් අටුවාවෙත් නම් නැ. හාමුදුරුවො ඒක කොහොන් හොයාගත්තාද මන්දා. ඉතිං තමන්ගේ හිතළු කියන්න හොද නෑ සුත්ර පෙරලාගෙන. එහෙනම් අර කාලීන බණ කියලා සමහරු කුණුහරුප කියන්නේ, ඒ විදිහට කිවා නම් හරි. එතකොට බුදු බණ නෙවෙයිනේ. ඒවා සඟ බණ.“😀
“එහෙමයි...“ ඇය සිනාසෙමින් කිවාය.😂
“කොහොම හරි පහුගිය දේශපාලන යුගයට ආදාළව එ හිමියන් නියෝජනය කරන මහමෙව්නාව පෙනී හිටි දේශපාලන පක්ෂයක් තිබ්බානේ. අන්න ඒකේ තරහා පිරිමහා ගත්තා ගොඩක් නිරාගමික මතවාදී කණ්ඩායම්.“ නමුත් උන්වහන්සේ දුස්සීල භික්ෂුවක් නෙවෙයි. ටිකක් පුරුෂොත්තමවාදි ගති ලක්ෂණ සහිත කෙනෙක්. ගොඩක් මෝඩ මිනිස්සු පව් පුරවා ගත්තා උන්වහන්සේට බැනලා. සමහරු කන්න නැතුව මහණ වෙච්ච අපචාරයට ලක්වෙච්චි ගණයො කියලාත් තිබ්බා. එහෙම කියලා තිබ්බේ ගැහැණියක් විසින්මයි. මුන්වහන්සේලා බොහෝ දුරට තරුණකාලේ පැවිදිවචේචි අවබෝධයක් සහිත අය. නැතුව කන්න නැතුව මහණවෙලා නෙවෙයි. විශාල පවක් සිද්ධකරගත්තා මුන් වහන්සේට බැනලා.“😥
“ඊළඟට 3 වෙනියට කියන ‘කිංකාර පටිවිස්සාවිනයො කියන එකෙත් තේරුම හරි. මොනවද කරන්න තියෙන්නේ කියලා හොයලා බලලා කරන්න කියන එක. හැබැයි වැලිමඩ හාමුදුරුවො කියන විදිහට ඇදුම් හෝදන්න නම් නැ. සේවකයන්ව මෙහෙය වන්න තමයි තියෙන්නේ. අටුවාව නම් කියන්නෙ, මොනවද දැන් කරන්න ඕනි කියලා, එක එක්කෙනාගේ මුණ බලලා තේරුම් ගත යුතුයි කියලා. ඇත්තටම ගැහැනු ඒකට දක්ෂයි මම හිතන්නේ. නමුත් මතක තියාගන්න ඕනි මේ ඔක්කම නාම පද අයති වෙන්නේ අර මුලින් කියපු “වන්නෙමු‘ කියන වචනයට. එතකොට මේවා නියෝග නෙවෙයි. කරොත් හොදයි කියන වර්ගයේ අවවාද.“
“එහෙමයි...“
“4 වෙනියට කියන මනාපචාරිනියො ඒකට ඒ හාමුදුරුවො කියන අදහස සුත්රයේ නැ. අටුවාවෙත් නැ. ‘ප්රියමනාප වඩවන ක්රියාකාරකම් කරන්න කියලා කියන්නේ අටුවාව. ස්වාමීයා මනාප විදිහට සිටිය යුතුයි කියලා අදහසක් එකේ ඇත්තෙම නැ. එතැන හාමුදුරුවො වැරදි. ඇත්තටම ස්වාමියා අකමැති විදිහට හැසිරීම, ගැන විතරක් නෙවෙයි, තමන්ට දොස් එන ඕනෑම හැසිරීමක්, මනාප නොවෙන හැසිරීමක්නේ. නමුත් අර ලස්සනට ඇදලා පැලඳලා ඉන්න ඕනි කතාව හරි. මේ දූලාගේ වැඩකටයුතු දැක්කාම ප්රියමනාප බවක් ඇතිවෙන්න ඕනි. - කියන අර්ථය තමයි නිවැරදි. එතකොට පෙනුම ගැන උනත් හරි. මොකද ඊළඟ 5 වෙනි කාරණාවත් ඕක එක්කමනේ යන්නේ...“ 
“ ප්රියවචන කතා කරන්න කීව ඒක ද?“ ඇය ඇසුවාය.
“ඔව් පියවාදිනියො- ප්රියවචන කතා කරන්නියක්. ඉතිං මේ දෙකම තමන්ගේ අගය වැඩි කරන දෙයක්නේ. ඉන්නේ අනුන්ගේ ගෙදරක. නැන්දම්මා - මාමණ්ඩිගාව. ඉතිං ප්රියමනාප විදිහට වචන කතාකරන එකත්, හැසිරෙන එකත් වැදගත්. එතකොට මේ ටික සැමියාට විය යුතුයි කියලා විතරක් නෙවෙයි, තමන්ගේ වටිනාකම වැඩි කරන දෙයක්. අනික ඉතිං බිරිඳ කොයි වෙලාවතේ ඇගට කඩාගෙන පනිනවා කියන්නේ, ඒ දෙන්නා අතර බැඳිම පලුදු වෙනවා කියන එකනේ.“ 
“ඉතිං මේ ටික කරමු නේද දුවේ කියන අර්ථයෙන් කියන්නේ... අවවාදයක්, ඕනි නම් පිළිගන්න පුළුවන්. නැත්තං නොකර ඉන්නත් පුළුවන්.“
“ඇත්තටම ඒ හිමියො කියන විදිහ, ඒ කාලේ අදින්න පලදින්න වැඩ කරන්න වුනේ ස්වාමියාට අනුව තමයි. සහ මාමණ්ඩිට අනුව. ලැබෙන ස්වාමියා අනුව ඒ දැරිවිට විදින්න වෙන ජීවිතේ වෙනස්. හොද කෙනෙක් ලැබුනොත් හොදයි. නැත්තං දාසියක් තමයි. කරන්න දෙයක් නැ ඉතිං. මොකද ඒක තමයි ඒ කාලේ ඉන්දියාවේ හැටි. අනික මේ බැදලා යන්නේ තවත් බ්රාහ්මණ වාදී පවුලකටනේ. බෞද්ධ ශ්රාවකයන් ම කියලා එකක් නෑනේ. “ 
“වැලිමඩ හාමුදුරුවො කියන්නේ ස්වාමියාට ඕනි විදිහට ඉදාල නිම්මාණ රතී දිව්යලෝකේ යන කථාවක්.“ 😂
එහෙම එකක් නැ සුත්රයේ... ඒක වැරදි කථාවක්. යහපත් චර්යාවක් ගත කරන බිරින්දෑවරුන් නිම්මාණ රතියට යනවා කියලා තියෙන්නේ. ඒ කාමමිත්යාචාරය වාගේ එව්වා නොකර, නැන්දම්මා - මාමණ්ඩි වාගේ වැඩිහිටියන්ට සත්කාර කරමින්, සිල්වත්ව ගත කරපු නිසා මිසක්, මිනිහට සලකපු නිසා නෙවෙයි. මිනිහාවත් ගණිකා ආදීන්ගෙන්, බේබද්දන්ගෙන් බේරාගනිම්න් කටයුතු කරපු නිසා මිනිහාටත් යහමග පෙන්වන කෙනෙක් නිසා, මිසක, මිනිහාට වහල් කම් කිරීම නිසා නෙවෙයි. ඉතිං හරිනේ, සීලවන්තව ඉන්නවා කියන එක අමාරු වැඩක්නේ. මිනිහාගෙන් නොයෙකුත් දුෂ්ටකම් වෙද්දි, මිනිහා අනාචාරයේ යද්දි තමන් සිල්වත්ව ඉන්නවා කියන එක කොච්චර අමාරුද? අද කාලේ මිනිහත් එක්ක හරි හරියට බොන ගෑනුනේ ඉන්නේ. ඉතිං එව්වාගෙන් වලක්වාගෙන සිටින දිව්යලෝකේ යනවා මිසක්, මිනිහාට වහල්කම් කරලා යනවා නෙවෙයි. “😅
“එහෙනම් වැලිමඩ හාමුදුරුවො තමයි වරද්දාගෙන තියෙන්නේ...“ ඇය කිවාය.🙄
“ඔව්, ඒ හිමියො පිරිමින් සුද්ධ කරමින් ගැහැනුන්ට වරද පටවන බවක් තියෙනවා... අනික ඉතිරි කරුණු 20 කියලා ඔය දිව්යලෝක කථාව සුත්රයේ තියෙන්නේ. නැතුව ඔය ටික විතරක් කරාට නෙවෙයි. ඒ කියන්නේ මිනිහාට වහල් වෙලා හිටියාට නෙවෙයි.“ ඉතිං ඔව්වා, ඒක ඒකාලේ ඉන්දීය සමාජයට ගැලපෙන්න කියපු දෙයක් මිස, අදට කොහොමද යොදාගන්නේ කීවේ නෑනේ... 😀
“එතකොට ඉතිරි කරුණු 20.“ ඇය ඇසුවාය.🙄
“ඇත්තටම මේ කරුණ ටික හරිම නවීනයි...
වැලිමඩ හාමුදුරුවො ඒ ටික කිවාද දන්නේ නැ. හැබැයි ප්රසිද්ධ වෙච්චි video වේ ඒ ටික නෑ. ප්රසිද්ධ වුනේ තේ හදන කතාව නිසානේ, ඒ සිටුපවුලේ නම් සැමියා තේ හදන්න නැතුව ඇති. එහෙත් මේ වර්තමානයේ වැඩ කාරයන් තියෙගෙන ඉන්නේ කීයෙන් කී දෙනා ද? අපි ගොඩක් ඉන්නේ දුප්පත් පවුල්නේ. ඉතිං සැමියාගෙ සහයෝගය අනිවාර්යෙන්ම තියෙන්න ඕනි කුස්සියේ වැඩට. විශේෂයෙන් බිරිඳ රැකියාවක් කරන කෙනෙක් නම්“
“ඇත්තටම ගැහැණියට වාසි කරුණු ටික එන්නේ ඉස්සරහාට. මෙයාලා සිටුකුමාරියො ඒ නිසා මෙ දැරියන්ට වෙනවා business කරන්න. ඒ business ටික තමන්ගේ අතට ගන්නා හැටි හරි ලස්සනට කියලා දිලා තියෙනවා. මුදල් පාලනය තමන්ගේ අතට ගන්නා විදිහ.☺️
“අපූරුයිනේ හාමුදුරුවනේ... මොනවද ඒ කරුණු...“🤔
“හුඟක් වෙලා කතා කරානේ... දැන් වෙලාවක් නැ ඒ ටික කියන්න. ඉතිරි ටික මම හෙට කියන්නම්.“
“එහෙමයි අවසරයි, සමාවෙන්න කරදරකාරට... තෙරුවන් සරණයි.“
“තෙරුවන් සරණයි අක්කා.
🙏🙏🙏
(මතුසම්බන්ධයි)
මුලාවූ අයට කියවීමට ශෙයාර් කරන්න.
2020. 02. 19
------------------------
🌹🌹🌹
(හෙරලි.)
තෙරුවන් සරණයි.🙏
Rathanathissa Thero.
35. 🔴සද්ධාසීල හිමියන්ට පිළිතුරු. 🔴
========================

“අපේ හාමුදුරුවො, මම එවපු video එකේ යන ධර්මදේශනාව ඇහුවාද?“ මාගේ ලිපි නිතර කියවන්නියක විසින් මගෙන් පැනයක් ඇසුවාය.🤔
“ඒක තමයි දැන් අහලා ඉවර වුනේ... මේ දවස්වල ප්රසිද්ධ “තේ කොප්පයෙන් අපායට යන; කථාව තියෙන්නේ ඒකේ නේද?...“ මා ද සිනාමුසුව පිළිතුරු දුන්නෙමි.😁
“හාමුදුරුවනේ, අපේ නැන්දම්මත් මාත් එක්ක වෛර බැඳගෙන ඉන්නේ...
මොකද, මගේ මහත්තයත් මට තේ හදලා දෙනවා...
ඒක එයා කැමැත්තෙන් කරන දෙයක්...
ඒත් අපේ නැන්දම්මා බනින්නේ, පිරිමි ගෙවල්වල වැඩ කරාම මූසලයි කියලා...
ඉතිං ඒකට මම මොනව කරන්නද, එයා කැමැත්තෙන් කරන්නේ... මේ වාගේ දේශනාවන් ඇහුවා නම් අපේ නැන්දම්මා, එයා තවත් පරළ වෙයි.“ යනුවෙන් ඈ කීවාය.🙄
“ඒ දේශනාව කරන විදිහයි වැරදි. පිහිය තියෙන්නේ පාන් කපන්න. ඕනි නම් බෙල්ල කපන්නත් පුළුවන්... දේශනාව කරන හාමුදුරුවො සූත්රය පාවිච්චි කරන්නේ බෙල්ල කපන්න. පාන් කපන්න නෙවෙයි.“ මා කීවෙමි.
“ ඒ කිව්වේ හාමුදුරුවනේ...“ 🤔
“එතැන තේ කොප්පේ කථාව අල්ලාගත්තොත් නම් ඉතිං වරදක්... සම්පූර්ණ දේශනාව ඔය බනින අය 90%වත් දේශනය අහලා නෙවෙයි බනින්නේ... හරි අපි මුල ඉදන් පැහැදිලි කරගමුකො...“🙄
“එහෙමයි...“☺️
“ඒ හාමුදුරුවො බණ කියන ඔය සූත්රයේ නම උග්ගහ සූත්රය. තියෙන්නේ, අංගුත්තර නිකායේ පඤ්චක නිපාතයේ, සුමන වර්ගයේ. ඇත්තටම ඕක ටිකක් යල්පැන ගිය අදහස් සහිත සූත්රයක්. ඒ නිසා තමයි ඕක, නකුල මාතාපිතා, සිඟාලෝවාද වාගේ ජනප්රිය නැත්තේ.“
“යල්පැන ගියපු කීවේ හාමුදුරුවනේ...?“
“ඒක අපි සූත්රය ආරම්භයෙන්ම බලමු... සූත්රය පටන් ගන්නේ උග්ගහ කියන සිටුවරයා, (මෙණ්ඩක සිටුවරයාගේ මුණබුරා) බුදුන්වහන්සේට දානයට කරන ආරාධනාවක්, ඒ කරණ ආරාධනාවම විශේෂයි. ආරාධනාව කරන්නේ ඔබවහන්සේ ඇතුළුව 4 නමක් වඩින්න කියලා.“ 🙂
“ඇයි ඒ 4 නමක්- එහෙටත් නැතුව මෙහෙටත් නැතුව ගාණක්නේ ඒක“ ඇය ඇසුවාය.🤔
“අන්න ඒකට උත්තරය තියෙන්නේ අටුවාවේ... අටුවාව කියන්නේ... පියා මෙහෙම 4 නමකට ආරාධනා කරන්නේ ගොඩ දෙනෙක් හිටියොත් දුවලට ලැජ්ජාවක් වෙන නිසා මේ අවවාද දීම. ඒක හරිනේ මේ අවවාද දීම ගොඩ දෙනෙක් ඉස්සරහා කරන්න බෑනේ...
නමුත් අටුවාට තේරිච්ච දේ වැලිමඩ හාමුදුරුවන්ට තේරුණේ නෑ. ඒ නිසා ඔක්කම ඉස්සරහා මේ ටික කියන්න ගිහින් ඇනගත්තා කියලා තමයි මට හිතෙන්නේ...“🙂
“ෂහ් අටුවාව හරි දියුණුයිනේ...
ගොඩක් දෙනෙක් ඉස්සරහා අවවාද දෙන එක හොද නෑ කියන්නත් දන්නවා... විශේෂයෙන් ලමයින්ට. ඉතිං හාමුදුරුවනේ...“ ඈ කීවාය.😮
“ඉතිං බුදුන් වහන්සේ දහවල දානයට වඩිනවා... දානය වලඳලා ඉවර වුනාම තමයි පියා (උග්ගහ සිටුවරයා) අදාළ කාරණාව බුදුන් වහන්සේට මතක් කරන්නේ. “ස්වාමීනී, මේ ඉන්නේ මගේ දූලා ටික. මේ ටික හෙට අනිද්දා දීග දෙන්නයි හිතාගෙන ඉන්නේ. මේ දුවලාට බොහෝ කාලායක් හිතසුව පිණිස පවතින්න අවවාදයක් දෙන්න ස්වාමීනී“... කියලයි ඉල්ලන්නේ.“🙂
“එක දුවක් නෙවෙයි ද?... ඇය ඇසුවේය. 😮
“නැහැ. ‘කුමාරියො“ කියලා තියෙන්නේ... කුමාරී කියන පදයේ තේරුම දැරිය කියන එක. ‘කුමාරියො‘ කියන්නේ බහුවචනය.
තාත්තා සිටුවරයා නිසා. සිටු දියණියන්, කුමාරිකාවන් කියලා ගත්තෑකි. එක දියණියට වඩා ඉදලා තියෙනවා එතැන. ඒ වාගේම වැලිමඩ හාමුදුරුවො වැරද්දක් කරනවා මෙතැන.“🙂
“පළවෙනි එක, මේ අවවාද දීම කරන්නේ... බුද්ධකාලයේ හිටපු දැරියන්ට නේද කියලා අමතක කරන එක. අනික මේ බහුවචනයෙන් කරන පොදු ආමන්ත්රණයක්. නමුත් එක පවුලක අයට. විශේෂයෙන් ධනවත් සිටුපවුලක ගෑනු ලමයින්ට.“
“මොකද්ද හාමුදුරුවනේ බුද්ධකාලයේ වෙනස....“ ඇය ඇසුවාය...😮
“ඊට කලින් කියන්න ඕනි... මේ අවවාද දීම කරන්නේ ධනවත් පවුලක අවුරුදු 16වාගේ ගෑනු ලමයින් දෙන්නෙකුට හෝ වැඩි ගණනකට...
මොකද පැරණි ඉන්දියාවේ 16න් පස්සේ කසාඳ බන්දනවා. ඒ වාගේම තාත්තා මෙච්චර මේ බුදුන් වහන්සේ වඩම්මලා අවවාද කරන්නේ මේ ඉතා හුරතලේට හැදිච්ච දැරියන් වන්නට ඕනි. විශේෂයෙන් තාත්තාගේ හුරතලේට... එතකොට ඔයා දන්නවානේ ධනවත් පවුලක් හුරතලේට හැදුනු ගෑනුලමයින්ගේ තරම... ඉතිං තාත්තට බයක් ඇති මේ දැරියන් ගිහින් කොහොම ඉදීවි ද කියලා“🤐
අනික මේ බුද්ධකාලේ කියන්නේ... ගැහැනු රස්සා කරපු යුගයක් නෙවෙයි. ගැහැනු ලමයි ඉපදීමත් කරුමයක් විදිහට හිතපු යුගයක්... ගැහැනු අකුරු ඉගෙන ගත්තු යුගයකුත් නෙවෙයි. අඩුකුලේ ගැහැනු අය නම් උඩට ඇන්දෙත් නැති යුගයක්... ගැහැනු ඉපදිලා ඉන්නේ ලමයි හදන්නයි, කෑම උයන්නයි කියලා විතරක් හිතපු යුගයක්... බුද්ධකාලේ ඉගෙන ගත්තේ පිිරිමි ලමයි විතරයි... බ්රාහ්මණ යුගයනේ... දන්නවා ඇතිනේ බමුණො ගැහැනු ගැන කොහොම ශ්ලෝකද ලියලා තියෙන්නේ කියලා... මුහුදේ මාළුන්ගේ අඩිපාරවල් තියෙනවා කියලා පිළිගත්තත් ගැහැනුන්ගේ වචන විශ්වාස කරන්න එපා කියලා ශ්ලෝක ලියෙවෙච්ච යුගය...“🤐
“ඉතිං අර වැලිමඩ හාමුදුරුවො ආදාල පරිසරය විස්තර නොකර මේ දේවල් ටික කීවාට හරියන්නැ. ඒ කාලේ ගැහැනු තමන්ගේ ස්වාමියා එනකොට නැගිටිනවා. ස්වාමියට ගමනක් යද්දි වදිනවා. අදත් මගුල් ගෙවල් වල පිරිමියාට බුලත් දීලා වදිනවා නේද පෝරුවේදී. දැන් කාලේ ගෑනු පිිරිමන්ගේ කරේ නැගලා ෆෙටො ගත්තට, අත් අල්ලන් ගියාට, ඒ කාලේ බිරිඳ කියන්නේ දාසියක් තමයි. කොසොල් රජතුමා බුදුන් වහන්සේ ගාවට අඩාගෙන ආවේ... අනේ මගේ දේවිය ගැහැණු දැරිවියක් උපද්දලා කියලා...“
“එහෙමද හාමුදුරුවනේ එච්චර ද දරුණු ද ඒ කාලේ...“ ඇය ඇසුවාය...😁
“ඒකනේ... ස්ත්රියක්, වේද ග්රන්ථ ශ්රවණය කරොත් කන් වලට ලෝකඩ වක්කකරපු යුගයක් ඒක. ඒ බ්රාහ්මණ යුගය ගැන මෙලො දෙයක් නොදැන මේ වැලිමඩ හිමියන්ට බැනලා වැඩක් නැ. වැලිමඩ හාමුදුරුවොත් එව්වා ගැන නොකියා මේ සමාජයට දැන් ඕක කීවාට වැඩකුත් නැ...
ඉතිං අන්න ඒ සමාජයේ මේ දරුවො බැදලා යන්න ඕනි කොහාට ද?😅
“මාමණ්ඩිලා ගෙදරටනේ... “ ඇය කීවාය.😮
“ඔව්... එවාගේම මේ මොන විවාහ ද? මම අහන්නේ love marriage ද proposal marriage ද?“
“දන්නෑ හාමුදුරුවනේ...“ 😮
“මේ අනිවාර්යෙන්ම proposal marriage නේ. මොකද සිටුකුලයට ගැලපෙන කෙනෙක් බදලා බන්දලා දෙනවා මිසක්, ආදර විවාහ නෙවෙයි මේ. “
“ඔහ්... එහෙනම් ප්රශ්න කෝටියයි...“😮
“අන්න හරි... කිසිදා නොදන්නා මිනිහෙක්. කිසිදා නොදන්නා පවුලක්. වෙනම පදිංචි වීමක් නෑ මේ කාලේ. honeymoon කියලා ජාතියක් ගියෙත් නැ.
ඔක්කම නැන්දම්මලා මහ ගෙදර. අදත් ඉන්දීය චිත්රපටිවල මේ දේවල් පෙන්වනවානේ. ඉතිං බුදුන් වහන්සේ මේ දරුවන්ට කරන්නේ ඒ කාලේට උචිත දේශනාවක්...
“ඉතිං දැන් නැන්දම්මාගේ ගෙදර ගියාම, පස්සාපැත්තට එලිය වැටෙනකම් නිදාගන්න ද කියන්නේ... නෑනේ කලින් නැගිටින්න වෙනවා... ඔක්කටම කලින් ඇදට පනින්න පුළුවන් ද ?“
“බෑනේ හාමුදුරුවනේ... නැන්දම්මා මරාගෙන කයි එතකොට... “ ඇය කීවාය.
“අන්න හරි... මේ කාලේ ප්රබල නැන්දම්මාට වඩා මාමණ්ඩි.“ එතකොට තමන්ගේ දුවවත් වටින්නැති යුගයක ලේලිලා ගැන කුමන කථා ද? අනික මේ යුගය එක ස්වාමියාට, බිරින්දෑවරු කීපයක් හිටිය යුගය... එතකොට තව කොච්චර ගැටලුද කියන්නකො... ඒක ගැහැණියක් හොද නැත්තං, දරුවො නැත්තං ස්වාමියාගේ තනි කැමැත්තට තවත් ගැහැණියක් ගන්නවා...“
“අපොයි... ගෑනු වහල්කමටනේ දාලා තියෙන්නේ...“ ඇය කීවාය...😥
“අන්න ඒ ටික නොදැන දේශනයට බැනලා හරියන්නැ. නැන්දම්මලා ගෙදර ගිහින් ගුටි නොකා ඉන්න අවශ්ය දේවල් ටික තමයි මේකේ කියලා තියෙන්නේ... “ නමුත් හරි අපූරු දේ තමයි මේ පැරණි ඉන්දීය සංකල්ප වල උනත් හරි අපූරු අලුත් දේවල් ටිකක් කියලා තියෙනවා. දැන් වෙලාව නෑ මම හෙට call එකක් දෙන්නම්...
“එහෙමයි...“🙏
“ඒ වාගේම... මිනිහා හදන තේ එකක් බීවාම, ගෑහැනිය අපායේ යනවා කියන එක නම් හද්දා මෝඩ කථාවක් එහෙම දෙයක් සුත්රයේ නම් නැ...
ප්රේම කරලා විවාහ වෙන අයගේ චර්යාවන් වෙනයිනෙ. ඉතිං මේ පැරණි ඉන්දියාවේ යෝජිත විවාහ. ඒ කාලේ නම් කිසිම පිරිමියෙක්, ගෑනියෙක්ට තේ එකක් හදලා දෙන්න නැතුව ඇති. විශේෂයෙන් සිටු පැලැන්තිය.“
“ඉතිං ඔය තේ හදන මෝඩ කථාව අදට කිසිසේත් ගැලපෙන්නෑ. සූත්රයේ එහෙම කරුණක් ඇත්තෙත් නැ...“
“මම සුත්රයේ එන ඒ අපූරු කරුණු ටික හෙට කියලා දෙන්නම්. ඒ හාමුදුරුවන්ගේ බණෙ තියෙන්නේ කරුණු 5ක් ගැනවිතරයි. නමුත් ඔතන කරුණු 25ක් තියෙනවා. එව්වා හරි අපූරු කරනු...“
“එහෙමයි. අවසරයි හාමුදුරුවනේ... ඉතිරි කරුණු ටිකත් දැනගන්න බලාගෙන් ඉන්නවා... තෙරුවන් සරණයි“ ඇය කීවාය.🙏
“තෙරුවන් සරණයි අක්කා.“
🙏🙏🙏
2020.02.18
=========

44. 🔴 කළුකුමාර දිෂ්ටිය.

  44.  කළුකුමාර දිෂ්ටිය.  ========= මේ වාගේ සිද්ධි කිහිපයක් පසුගිය කාලේ මට දකින්නට ලැබුනු නිසයි, මම මේ ගැන ලියන්න හිතුවේ. මේ මම එකතුකරගත් දැ...