Saturday, June 20, 2020

25 🔴අසංවේදී චරිත - 02🔴 (අම්මා)
==========
“තෙරුවන් සරණයි හාමුදුරුවනේ, කතාවක් තියෙනවා, ලියන්න පුලුවන්ද?“
බොහෝ කාලයකට ඉහතදි inbox ලැබුනු msg එකකි, ඒ.
“මගෙ නම ගම නොදා ලියන්න“ ඇය කීවාය.🙄
“අනිවාර්යයෙන්ම, එහෙම තමයි කොහොමත් ලියන්නේ“ මම කීවෙමි.
“ කථාව අම්මා ගැන. ඒත් මගෙ පොඩි කාලෙ ඉදන්ම විස්තර කියන්න වෙනවා“
“මගෙ තාත්තා හරියට බිව්වා“😥
“අම්මගෙ අය කිව්වෙ, අම්මා බදින්න කලින් ඉදන්ම බිව්වලු.“
“තාත්තගෙ අය කිව්වෙ අම්මා වැරදි නිසා බොන්න ගත්තලු.“
“ පවුලෙ මායි නංගී මල්ලියි. ඒ කාලෙත් ගොඩක් දුක. අම්මා තාත්තගෙ රන්ඩු , කන්න අදින්න නෑ. අම්මා සැරින් සැරේ අපිව ආච්චිලාගේ ගෙදර අපිව දාලා ගියා. එයාලා අපට සැලකුවා. අම්මා රට ගියා එයාගෙ අයට සල්ලි එව්වෙ, අපි කන ඒවට කඩෙ ණය බේරන්න. ඒකත් උදේ කෑමට විතරයි. තාත්තා කොහොමත් බොන එකනෙ. ඉතිං ගොඩක්ම කන්න දුන්නෙ ආච්චි.“😥
“කොහොම හරි අපි ලොකු වුනා. මම නම් A/L කළා.“
“ ඊට කලින් husband හම්බු වුනෙ. එයා මගෙ ඉගෙනීමට උදව් කලා. ආර්ථික ප්රශ්නය නිසා ඉගෙනුම නවත්තන්න හැදුවත් එපා කිව්වා. හැබැයි නෑයො මට එයා එක්ක යාලු වෙච්චි එකටත් කතා හැදුවා. එත් මං එයා එක්ක විතරයි යාලු වෙලා හිටියේ.“☺️
“අම්මා ඒ කාලෙත් යනවා එනවා. පොඩි කාලෙ, එයා යාලු වෙන පිරිමි එක්ක, අපිව එක්ක යනවා. අම්මා, එයාගෙ මස්සිනාලා එක්ක පවා යාලු වෙලා හිටියා. මම ඇස්වලටම දැකලා තියෙනවා“
“A/L කළාට පස්සෙ වැඩිදුර ඉගෙන ගන්න ඕන උනත් බැරි වුනා... අපරාදෙ විද්යාපීඨ ගැන දැන ගත්තෙ බැන්දට පස්සෙ. මම GAQ කරන්න ගත්තා. එතකොට ලොකු අම්මා ලග මමයි නංගියි. මල්ලි නිට්ටඹුවෙ යාලුවෙක්ගෙ ගෙදර (ඒක ගංජා විකුණන ගෙයක්) අම්මා ඉතිං රට. මට මාසෙට 6000ක් වගෙ එව්වා. ඒකෙන් ලොකු අම්මට 3000 දුන්නා, නංගිට මටයි ඉතිරිය, ඒක මදි නිසා, මම ජොබ් කලා.“😎
“එහේ අපිට කාමරයක් නෑ. ලොකු අම්මලා ඇදේ නිදියද්දි අපි බිම. අපි දෙන්නා ගෙදරට ගමනට අදින ඇදුම්, නංගිගෙ පොත් ඔක්කොම ලොකු අම්මගෙ අල්මාරියෙ එකම තට්ටුවෙ. එයාලගෙ අනං මනං වචනත් බොහෝමයි“
“මම අම්මටත් කියාලා, එයා සල්ලි එව්වට පස්සේ කුලියට ගෙයක් ගත්තා. බොරුවට, ඉන්න බයයි කියලා මල්ලිව ගෙන්න ගත්තා ලගට. ඒ කාලෙ හස්බන් හම්බ කරපුවත් අපට වියදම් කලා. එයාලගෙ ගෙදරත් රණ්ඩු ඊට පස්සෙ.“ 😥
“ එහා ගෙදර කොල්ලා මටයි නංගිටයි බැල්ම දදා හිටියෙ ඒ දවස්වල, එයාට අපිව අල්ල ගන්න බැරි වුණා. නංගි කොල්ලෙක් එක්ක යාලු වුණත්, ඒවා මම නතර කලා. පරිස්සම් කළා එයාව. මල්ලිට කොහෙවත් යන්න දුන්නෙ නෑ. job නොකලත් කමක් නෑ ගෙදර ඉන්න කිව්වා. එයා මං කියන දේ අහන් හිටියා“
“ දවසක්, අම්මා රට ඉදන් ආවා. එහා ගෙදර කොල්ලා එක්ක යාලු වුනා. ඊට පස්සේ, එයා ගෙදර හැසිරෙන විදිහ දැක්කම, ඒ කොල්ලා එක්ක, ඇත්තටම මට අප්පිරිය හිතුනා. පොඩි කාලෙ ඇස් දෙකට දැකලා තිබුනත්, දැන් නම් හොදටම කලකිරුණා අම්මා ගැන“😰
“ඒ මදිවට මට බදින්න බල කළා. husband ගෙ ගෙදර ගිහින් කතා කරලා නැකැත් බැලුවා. එයාගෙ තාත්තගෙ අකමැත්තෙන් තමයි අපේ අම්මා වෙඩින් එකට ලෑස්ති වුනේ. ඒත්, ගේ හදපු නිසා දැන්ම බෑ කිව්වා එහෙන්. ඊට පස්සේ අම්මා මට වෙන කසාද හෙව්වා. මගෙ විතරක් නෙවේ අවුරුදු 15ක් වෙච්ච නංගිගෙ ෆොටෝත් කපුවන්ට පෙන්නලා. ඊට පස්සේ කපුවෙක් මාර්ගයෙන් කොල්ලේක් බලන්න ආවත්, මම බෑ කිව්වා.“
“ගොඩක් ඉවසීමෙන් ගෙදර හිටියා. එතකොට temporary teacher කෙනෙක් මම. මායි නංගියි කද්දි රෑ මහ පුදුම වැඩක් වුනා. අර එහා ගෙදර කොල්ලට ඉඟි දෙන්න වගෙ, අම්මා සාලෙ light off කරා. ආයෙත් On කරලා off කරා. බලං හිටියා ආපහු දායි කියලා, නෑ. මම එදා හොදටම රණ්ඩු වුනා. කවදාවත් නැති තරම් ඇඩුවා. මහ රෑ husband ආවා. අම්මා මට ගෙදරින් යන්න කිව්වා. මම husband එක්ක පහුවදා ගියා යන්න.“😥
“පහුවදා අම්මා එයාගෙ අක්කගෙ ගෙදර ගියා. ලොකු අම්මායි මාමයි ආවා. අම්මගෙ පැත්තට කතා කලෙ එයාටත් මිනිහෙක් ඕනනෙ කියලා. husband එවෙලේ ආවා. එයා මට නිහඩව ඉන්න කිව්වා. පස්සෙ අර දෙන්නා ගියාම එයාගෙ අම්මා මාව ඒ ගෙදර එක්ක එන්න කිව්වාලු. මම එදා එහෙ ගියා.“
“මාසයකට පස්සෙ නැකැත් බලලා හැම දේම ඒ විදියට කරලා wedding එකයි home coming එකයි කලා සල්ලි ණයට අරන්. ඒ ගෙදර අය මට හොදයි. ඒත් අම්මයි පුතයි තාත්තයි රණ්ඩු. මට බබා හම්බෙන්න ඉන්දැදි තාත්තා නැති වුණා. ඒ කියන්නෙ මම බැඳලා අවුරුද්දකට පස්සෙ. අම්මත් ආච්චිගෙ ගෙදර ආවා මල ගෙදර වැඩ වලට. මාව දැකලා තාත්තගෙ නංගිට කියලා මා එක්ක කතා කරන්න ආසයි කියලා. මට ඒක කිව්වම දුක හිතිලා husband ගෙන් අහලා කතා කලා.“😘
“බබා ලැබුනම ඉදහිට එහෙ ගියා. නැන්දම්මා මටත් බබාටත් වෙනස්කම් කරන්න ගත්තා. ඒක හේතුව එයත් බැදපු කෙනෙක් එක්ක යාලු වෙලා හිටියේ ඒ දවස්වල, මේ ගෑනුන්ට නාකි වෙද්දි මොනවා වෙනවාද මන්දා හාමුදුරුවනේ... ඒවටත් රණ්ඩු ගෙදර. එතකොට මගෙ අම්මා, මාත් එක්ක හොදයි. අපි අම්මා එක්ක එහෙ ගියා. බලද්දි අපි එන්න කලින් ඒ ගෙදර අර කොල්ලත් ඉදලා තියෙනවා. එයාව නංගිට බදින්නත් කියලා. නංගි බෑ කියලා.“ බලාගෙන ගියාම අම්මා වෙනස් වෙලත් නැ.“🤐
“ආයෙ, husband ගේ තාත්තා අපිට එයාලගෙ ගෙදර එන්න කිව්වා. එයා වයසයි. අන්තිම කාලෙනෙ කියලා අපි ගියා.“
“ඒත් අන්තිම කාලෙ වුනෙ මගෙ පවුල් ජීවිතේ අවුල් වෙච්චි එක. husband වෙන ගෑනියෙක් එක්ක යාලු වෙලා. ගෙදර ප්රශ්න හැමදාම. එයාගෙ තාත්තා නැති වුණා. රණ්ඩු නිසා නැන්දම්මා පොලීසි ගිහින් මට ගෙදර එන්න එපා කිව්වා. මං ආයෙ අපේ අම්මා ලගට ආවා. husband එක්කම තමයි එහේ ගියේ. පස්සේ husband රට ගියා. අපිට සල්ලි එව්වා. කතා කළා. අර සම්බන්ධතා ඉවරයි. එයා ලංකාවට ආවට පස්සේ, අපෙ අම්මලා ලග ඉන්න අකමැති වුනා. අපි rent එකට ගෙයක් ගත්තා.“🏘
“ආයෙ දෙවෙනි බබා ලැබෙන්න ඉන්දැද්දි එයා රට ගියෙ නෑ. අපෙ අම්මා මට කිවේ, එහේ එන්න බබාගේ වැඩත් එක්කම බලාගන්නම් කියලා. මම rent house එක ඇතෑරලා එහෙ ගියා. ඒත් බබා ලැබිලා සති දෙකක් යන්නත් කලින්, එයා ට උයන්නත් බෑ කිවා, ලමයගෙ වැඩ කරලා දෙන්නත් බෑ කීවා“🤐
“අමතක වුණා කියන්න හාමුදුරුවනේ, ඒ වෙද්දිත් අම්මා වෙනත් මිනිහෙක් එක්ක තමයි හිටියෙ. ගෙ rent එකට අරං තිබුනෙ නංගි. ඒ මනුස්සයා හොද නිසා වගේම හොර සම්බන්දයක් නොවන නිසා තමයි අපි ගියේ“
“ඒත් බලද්දී ඒ මිනිහා, ගෑනිට ලමයට හොරෙන් මෙහෙ ඉන්නෙ. ඒත් පාඩුවෙ ඉවසන් හිටියා. නංගී බදින්න හිටිය කෙනාට පවා, කේලම් කියලා අපි ගැන, අම්මා ඒත් එ මිනියගෙ පැත්ත තමයි ගත්තේ“😐
“නංගි බැදලා යනකන් හිටියෙ මමත් මෙහෙන් යන්න. ඒත් rent එකට ගිහින් අමාරුයි. husbandගේ අම්මා දැන් හොදයිලු. එහෙ එන්නලු. වෙන කරන්න දෙයක් නෑ එහෙ යනවා.
“ඒත් හාමුදුරුවනේ, ආයෙ මගෙ අම්මගෙ මූන බලන්නෙ නෑ, මම. ලමයි යවන්නෙත් නෑ.😥😥
--------------------------------------------------------------------
🔴පළමු අසංවේදි චරිත කතාව, මා විසින් මීට සති කීහිපයකට ඉහතදී පළ කරන ලදී. මා හට මෙවැනි දුක් කතා දැනට 17 inbox එක තුල ලැබී ඇත. ඊට හේතුව දුක මුදා හැරීමට සිවුර විශ්වාස කිරීම හා උපදේශනය උගනීමෙන් ලද ‘අසා සිටීමේ‘ හැකියාවයි.
🔴මේ කතා 17න් 6කට පළකිරීමට අවසර දී ඇත. අනික්වා මගේ සිතතුළ අඟුළු දා ඇත්තෙමි. ඒ අතරින් මේ කතාව අයිති තැනැත්තිය ද, කිසිදු වචනය වෙනස් නොකොර පළ කරන්නට අවසර ලබා දුන්නාය.
🔴මා විසින් අම්මා ගැන නුගුණ සහිත කතාවයක් අසන ලද්දේ මීට වසර 4කට පමණ පෙර මා හිතවත් යුවතිකගෙන්ය. ඇය අම්මාට ඉතා අකමැති තැනත්තියකි. ඇයට මව් සෙනෙහස ලැබී නැත. ඉතා දුෂ්ට මවක් ඇයට සිටී. ඒ තැන් පටන් තම මවට අකැමැති (වෛර කරන) මහත්මීන් 6ක් මුණ ගැසී ඇති. මේ එහි 5 වෙනි කථාවයි.
🔴ඉතිරි කථා ද ක්රමයෙන් “අසංවේදි චරිත“ ආදී වශයෙන් පළකිරීමට බලාපොරොත්තු වෙමි. ඇයි ද මා විසින් මේ කඳුළු කතාව පළකරන්නේ යනුවෙන් ඔබ විමසුවහොත්, ඊට සමාජ විද්යාත්මක හේතුන් ඇත.
🔻1. එනම්, බොහෝ සියදිවි නසාගන්නට තැත් කරන්නවුන් නඟන මැසවිල්ලක් නම්, “ඇයි මට මේක වුනේ, ඇයි මෙහෙම වුනේ, ආදී වශයෙනි. ඔවුනට මේ කතා කියවන්න ට ලැබුනොත්, “අහ්... මට පමණක් නොවේ, තවත් අයට මෙසේ වී ඇතැයි සිතේ“ එය ඵලදායි සිතුවිල්ලකි.
“විභාග ෆේල් වුනු සැනින් සියදිවි නසාගන්නේ, අනියම් සම්බන්දයක් ආරංචි වු සැනින් අනිකාගේ දිවි තොරකරන්නේ, “මෙහෙම දෙයක් විය නොහැකි“ යන මතයේ සිටින්නවුන්ය. නැහැ , මෙහෙම වෙන්න පුළුවන් (maybe, it can be possible) කියා මේ පුවත් දන්නා අයට, මේවා දරාගත හැකිය.
🔻2. ඔබටත් මේ දුර්වලතා වලින් පාඩම් උගත හැකිය.
🔻3. අනෙක නම්, මේවැනි විරෝධාර කාන්තාවන් විෂයෙහි මා පුද්ගලික ප්රියමානපත්වයක් ඇත. ඔවුන්ව අගය කළ යුතුය.
තවද, ඇයත් මෙය කියවනු ඇත (සමහරවිට). ඇයගේ ධෛර්යයට ඔබට වචනයක් දෙන්නට පුළුවන් නම් එය මහත් අස්වැසිල්ලක්. (කරුණා කර ඈ කවුදැයි සෙවීමට උත්සහා නොකරන්න.)
තවත් කෙනෙකුට කියවන්න share කරන්න.
තෙරුවන් සරණයි. 🙏

No comments:

Post a Comment

44. 🔴 කළුකුමාර දිෂ්ටිය.

  44.  කළුකුමාර දිෂ්ටිය.  ========= මේ වාගේ සිද්ධි කිහිපයක් පසුගිය කාලේ මට දකින්නට ලැබුනු නිසයි, මම මේ ගැන ලියන්න හිතුවේ. මේ මම එකතුකරගත් දැ...