Saturday, June 20, 2020

30.🔴ගිල්ලුම් පිරිවැය.🔴
==========
“අමතක කරන්න හැදුවට හරි අමාරුයි හාමුදුරුවනේ එහෙම ඉන්න,
ඔක්කටම වඩා අවුරුදු 8ක් කරපු සියලුම දේවල් අපරාදේ නේද කියල හිතෙන එක නම් දරාගන්නම අමාරුයි...“ 😐
ඔහු තමන්ගේ අඳෝනාව මා සමඟ දැන් මේ කියවන්නේ 3 වෙනි දිනටය.🙄
“මම, මල්ලිට කීවාද විශේෂයෙන් අමතක කරන්න උත්සාහ කරන්න කියලා...
මොකද, අමතක කරන්න, අමතක කරන්න කියලා කීවත්, එහෙම අමතක කරන්න හැදුවත්, වෙන්නේ තව තවත් මතක් වෙන එක විතරයි...“ මම කීවෙමි.
මා ඔහුට ඇහුම්කම් දෙනු ලබන්නේ, ඔහුට තම හිත් වේදනාව කියන්නට කිසිවෙකුම නැති නිසාය. ගැහැණුන්ගේ දුක අහන්න ඕනෑ තරම් අය සිටී. 😏එමෙන්ම ගැහැනුන්ට තම දුක ඕනෑම කෙනෙකුට කියන්නට ද හැක. එහෙත් පිරිමින්ට එසේ නොවේ. ඔවුන් හිතතුළ ප්රශ්න සඟවාගෙන සිටීමට කැමැතිය. පිරිමි ඇඩීම මූසල කමක් ලෙස සමාජය දකී. එමෙන්ම, වයසින් බාල කෙනෙකුට කියන්නටද අකමැතිය. ඒ ගෞරවය ගැන සිතන නිසාය. ☹️
දෙමාපිය, වැඩිහිටි කෙනෙකුට කියන්නට ද අකමැතිය, ඒ උපදෙස් අසන්නට වන නිසාය. තරුණයන් උපදෙස්, අවවාද අසා සිටින්නට අකමැතිය. ඔවුන්ට අවශ්ය වන්නේ ගෞරවනීය සවන් දෙන්නෙකු පමණි. 🤔 මා විසින් ඒ අඩුව, ඔහුට සපුරමින් සිටිනු ලැබේ. පිරිමින්ට ද ‘හඬන්නට ඕනෑ‘ යැයි සමාජය අවබෝධ කරගත් දිනෙක, පිරිමි සියදිවි හානිකරගැනීම් අවම වනු ඇත. දැනට ගැහැණුන්ට වඩා අධික ප්රතිශයක් ලෙස, පිරිමින් සියදිවි හානි කරගැනීමට පෙළෙඹේ. නිසි සවන් දෙන්නුකු සිටී නම් එයින් භාගයක් නවතා ගත හැක.
“එතකොට හාමුදුරුවො කීවේ, ඇහැට පේන දේවල්, සියලු තෑගි බෝග අයින් කරලා, කාර්යබහුල වෙන්න කියලා...“ ඔහු කීවේය.🤔
“ඔව්... මතකයේ දිගින් දිගට රැදී සිටින එක වැලැක්වීමටයි එහෙම කිවේ. තව මම කීවේ ඔය ඉන්න පරිසරය ටික කාලෙකට මාරු කරන්න කියලා. ඒ හැමදේකින්ම උත්සහ කරන්නේ, මතකයට එන එක වලක්වන්න මිසක්, විශේෂ අමතක කිරීමකට යන්න නෙවෙයි. අමතක වෙලා යන්නේ කාලයත් එක්ක. මතකයේ දිගින් දිගටම එල්ලි එල්ලී යනකොටයි වේදනාව. ඒක වලක්වනවා කියන එකයි, අමතක කරනවා කියන එකයි, දෙකක් මලයා...“🤨
“එහෙමයි... මම එහෙම කරන්නම්... එත් එයා වෙනුවෙන් මම නාස්තිකරගත්තු අවුරුදු 8 ගැන හිතද්දි, එන්නේ පුදුම කේන්තියක්... අපරාදේ සල්ලියි කාලය යි...“ ඔහු පශ්චාත්තාප වේ.😯
“දැන් මල්ලි හිතාගෙන ඉන්නේ, කාලයක් ඇසුරු කරලා දාලා ගිහිල්ලා වෙනත් පිරිමි ලමයෙකු හොයාගත්තු එකම ගෑනු ලමයා එයා කියලා ද?....🙄
“නෑ... ඔහු යටපත් වූ ස්වරයෙන් උත්තර දෙයි.☹️
“අතීතයේ හිටපු ගෑනු ලමයි එහෙම කරන්නට නැතුව ඇද්ද? මම ඇසුවේමි.🙄
“එහෙමයි, ඉස්සරත් එහෙම වෙන්නැති... මම එහෙම සිද්ධි අහලා තියෙනවා.“😓
“ ඉස්සරට ගෑනු ලමයි එහෙම නොකරාවි කියලා හිතනවාද?...“🙄
“එහෙමයි... ඉස්සරහටත් එහෙම සිද්ධි සිදුවේවි...“☹️
“ආ... එහෙනම් හොදින් හිතට ගන්න, ඕක ඔයාට විතරක් වෙච්චි දෙයක් නෙවෙයි. ඔහොම කම්පා වෙන්න තරම්, ඊයෙත් අදත් හෙටත් සිදුවුනා, සිදු වෙනවා, සිදුවේවි. නේද?...😐
“එහෙමයි...“ ඔහුගේ ස්වරය ඇහෙන නෑහෙන ගානය.
“අනික ඉතිං... ඔයාගෙත් වැරදි තිබුණා කියලා කීවානේ... එයා එහෙම අතහැරලා දාන්න තරම්...“😏
“එහෙමයි... ඒත් අපරාදේ... මගේ කාලය, සල්ලි, මට දැන් 29ක්. මම ලබන අවුරුද්ද වෙනකොටවත් බඳින්නත් එපැයි හාමුදුරුවනේ... තවත් කෙනෙක් වෙනුවෙන් මම අලුතින් කාලයක් හොයගන්නේ කොහොමද?... ඔහුගේ සිතුවිලි වරද වරදක් නැත. ඔහු කතා කරන්නේ සමාජ සම්මතයන් ගැනය. රීතීන් ගැනය.😓
“මල්ලි... CIMA කරා කීවා නේද?🙄
“එහෙමයි...“
“ගිල්ලුම් පිරිවැය කියන්නේ මොකද්ද?...🤔
“ඇයි... ඔහු විශ්මයට පත්වෙමින් ඇසුවේය.🤔
“නෑ මම දන්නෑ ඒක ගැන... මට පොඩ්ඩක් කියලා දෙන්න...“
“sunk cost කියලා කියන්නේ හාමුදුරුවනේ...
අපි හිතමු මේ දවස්වල අර කඳුනාය යන්නේ, වැස්ස නිසා, ඉතිං ඒ වැනි තැනක ගෙයක් හැදුවා කියලා කවුරු හරි. ඒ හදන දවස්වල නාය ගියේ නැති වුනත්, පස්සේ කාලෙක නාය යන්න පටන් අරගත්තාම මොකද කරන්න වෙන්නේ. ගෙට අච්චර වියදම් කලා මෙච්චර වියදම් කලා කියලා බෑනේ...“ ඔහු උනන්දුවෙන් කියාගෙන යයි. මන්ද යත් ඒ ඔහු දන්නා විෂයය නිසාය.😁
“ඉතිං....“ 🤔
“ඉතිං... හාමුදුරුවනේ එතනින් අයින් වෙන්න වෙනවා. නැත්තං ජිවිතය තමයි නැති වෙන්නේ... ඒ කරපු වියදම වැඩක් නැ. කරපු ආයෝජනය ඵලක් නැ... හිත හදාගන්න වෙනවා...“ ඔහු කීවේය.
“මල්ලිටත් එහෙම නේද වෙලා තියෙන්නේ....“🙂
“අහ්.... හූම්....“ ඔහු මදක් කල්පනා කරන බවක් පෙනේ...🤔🤔
“මල්ලිගේ නම් සම්පුර්ණම දේවල් නැති වුනා කියලා හිතන්න එපා. යුවතියක් සමඟ අවුරුදු 8ක් ගත කිරීම නිසා ලැබුනු අත්දැකීම්, ඉදිරි ජිවිතයකදී උදව් වෙයි. 
"කථා කරන්න ඕනි දේවල්, කථා නොකරන්න ඕනි දේවල්,
“ගැටුම් ඇතිවෙන තැන්, නොවන තැන්,“ 
“පෞද්ගලිකව තබා ගත යුතු දේවල්, කිව යුතු දේවල්,“
“තරහා ගන්නා තැන්, නොගන්නා තැන්,“
කථා නොකළ යුතු මාතෘකා, කළ යුතු මාතෘකා, 
එකී මෙකී නොකී දේවල් ගැන දැන් හොද අවබෝධයක් ඇති නේද? 
ඔයා කියනවා වාගේ සල්ලි නම් ආපහු නොලැබේවි... නමුත් අත්දැකීම් සමුදායක් ලැබිලා තියෙනවා. දැන් දන්නවා නේද වරදින තැන, දැන් එතකොට මීළග සම්බන්ධය ඉතා හොද මට්ටමකින් පවත්වාගෙන යන්න පුළුවන් වෙයි.“
“එහෙමයි...“😯
“ඒ වාගේම ඔයාගේ වැරදිත් හදාගෙන, පාඩම් ඉගෙන ආපහු මුලක ඉඳලා නිවැරිදිව පටන් ගන්න. ඔය අවුරුදු 8 දාන්න ඔයගේ ‘ගිල්ලුම් පිරිවැය‘ හැටියට..., නමුත් ඒ අත්දැකීම් ටික අපතේ ගියේ නැ කියලා හිතන්න..., අනික කවුරුවත් බලෙන් අමතක කරන්න බැ, අමතක කරන්නත් අවශ්යත් නැ. ඒක කාලයට බාර දෙන්න.“
💪
==========================
🔴“පියෙහි විප්පයොගො දුක්ඛො“
ප්රියයන්ගෙන් වෙන්වීම දුකකි. සමහරු ඒ දුක දරාගන්නට බැරිව depression තත්ත්වයට පත්වෙති. සමහරුන් සියදිවි නසාගනිති.
🔴මේ තත්ත්වය වෛරයකට පෙරළී තවත් කෙනෙකුගේ දිවි තොරකිරීමට ද සමහරුන් පෙළඹේ. සියදිවි නසා ගැනීමත්, පර පණ නැසීමත් යන දෙකටම නොයා, සිත හදාගන්නවුන් දක්ෂයෝය. වෛර කිරීමත් පළිගැනීමත් සිදු කරන්නේ දුබලයෝය.
🔴ලඟ සිටින යහළු යෙහළියන් ඔහුට එම තත්ත්ව දෙකින්ම මිදෙන්නට උදව් කළ යුතුය.
🔴සදාකාලීක වූ බැඳීම් නොමැති බව පළමුවෙන් වටහාගත යුතුය.
දෙවනුව, වසර 10ක් ඇසුරු කළත් නොගළපෙන බව අවබෝධ වේ නම් ඉවත් විය යුතුය. බලෙන් සිටිය යුතු නැත. යම් යම් කැපකිරිම් එකිනෙකා වෙනුවෙන් කළ යුතු වුවත්, එම කැපකිරීම් කිරීම් වලට වටිනාකමක් තිබිය යුතුය. හැකිතාක් ගැලපෙන කෙනෙකු මත සම්බන්ධවීම මිස, නොගැලපෙන තැන බලෙන් ගලපා ගැනීම පසුකාලීනව ජිවිතය එපා වීමට මුලය.
🔴නැවතත් කියමි, සමහර ගිල්ලුම් පිරිවැය ඔබට දරාගැනීමට සිදුවෙනු ඇත. එහෙත් නොගැලපීම්, බලෙන් ගලපා ගැනීමට වඩා ඉවත් වීම සුභ දායක වේ. සම්බන්ධකමට තෝරාගත යුත්තේ යහළුවෙක් සොයනා ආකාරයෙනි... අපි යහළුවන් තෝරන්නේ කැපකිරිම් සිදුකරගෙන නොවේ. අපට ගැලපෙන (සිතුවිලි, විනෝදාංශ, ආගම් පක්ෂ මතවාද ආදී) අයට අපි ඉබේම යහළුවො වේ. වඩාත් ගැලපෙ නම් හොදම යාලුවො වේ. 🌺
🔴සබඳතා පටන් ගන්නේ විවාහ වීමට නොවේ. විවාහ වීමට තරම් ගැලපෙනවාදැයි බැලීමටය. නොගැලපේ නම් ඉවත් විය යුතුය. එය ඔබේ ජිවිතයේ, ගිල්ලුම් පිරිවැය වේ.🌹🌹🌹
----------------
හෙරලි.)
(නම්ගම් සියල්ල මන:කල්පිතය. සත්ය කතා කිහිපයක් පදනම් කර ගත්, උපදේශනාත්මක අවශ්යතාවය පිණිස, අනන්යතාවය හඳුනා ගත නො හැකි සේ, නිර්මාණය කරන ලද කල්පිතයක් බව කරුණාවෙන් සලකන්න)
තවත් කෙනෙකුට කියවන්න share කරන්න.
අදහස් දක්වන්න.
තෙරුවන් සරණයි.🙏

No comments:

Post a Comment

44. 🔴 කළුකුමාර දිෂ්ටිය.

  44.  කළුකුමාර දිෂ්ටිය.  ========= මේ වාගේ සිද්ධි කිහිපයක් පසුගිය කාලේ මට දකින්නට ලැබුනු නිසයි, මම මේ ගැන ලියන්න හිතුවේ. මේ මම එකතුකරගත් දැ...