Wednesday, September 4, 2019

14. හාමුදුරුවො feminist ද?


“හාමුදුරුවො feminist කෙනෙක්ද?

“ඒ මොකද සර් එහෙම ඇහුවේ එකපාරටම?“

අප ආයතනයෙහි සන්ද්යාභාගය තුළ තේ පැන් පානයට එකතු වූ මා ඉතා හිතවත් ගුරුතුමෙකු විසින් මෙසේ අසන ලදී. මා ඒ ප්රශ්නයෙන් අන්ද මන්ද විය.🤭

“නෑ ඉතිං. හාමුදුරුවො ගෑනුන්ගේ දුක විතරමනේ article ලියන්නේ. ගෑනු කඳුළුමනේ පිහින්නේ...“😀

ඒ ප්රකාශය සමඟ මට යම් ලජ්ජාවක් ඇති නොවුනා යැයි කීවොත් ඒ මුසාවකි.☺️

“ඒකට ටිකක් දිග උත්තරයක් තමයි දෙන්න වෙන්නේ සර්...“

“වදාරන්නකො බලන්න එහෙනම්...“

“මගේ ජිවිතේ පියාගේ භූමිකාව නිසා හෝ පිය පාර්ශවය නිසා මට ලැබුනු දෙයක් නැතිම තරම්, අම්මා තමයි සියල්ලම කරලා තියෙන්නේ... සහ අම්මාගේ ඤාතීන් තමයි හැමදේටම පිහිටට හිටියේ... කිරි අම්මා, චුටි මමා, ලොකු මමා. මතකයේ තියෙන උදව් කරපු, හැම චරිතයක්ම මව් පාර්ශවයේ, අදටත් ඒක එහෙමම තමයි. මට ඉන්නෙත් නංගිලා දෙන්නෙක්නේ. ඒ අතින් බැලුවත් මම කාන්තාවට තමයි වඩා ණය ගැති...“

“පෙර පාසල් හා පාසල් දිවියේ ගොඩාක් උදව් කරපු හැටියට මතක තියෙන්නේ සුවිශේෂී ගුරුතුමියන් කිහිප දෙනෙක්...“ (පිරිමි ගුරුවරු නැතුව නොවේ. බහුතරය ගැහැනු)

“පිරිවෙන් කාලේ නම් ඉතිං පිරිමි ගුරුවරු විතරනේ. ඒත් යුනිවර්සිටි ජිවිතයේදී හම්බුනු ගැහැනු ගුරුවරු විශේෂයෙන් ඉංග්රිසි පංතිවල, වැඩිපුර ලකුණක් දෙන්නම උත්සහ කරපු අය. එක ගුරුතුමියක් නිතරම කීවේ, සාමන්ය කෙනෙකුට උගන්වනවාට වඩා ඔබවහන්සේලාට උගන්වන එකෙන් මම කරන්නේ රටට සේවයක් කියලා... “

“මහණ වෙච්චි දා ඉදාලාම වැඩිපුරම උදව් කරලා තියෙන්නේ... දායිකාවො...“ (දායක මහත්තුරු කීප දෙනෙකුම නැතුවා නොවේ) කුඩා කාලයේ ඉදලාම, සමීප දායිකාවන් කීප දෙනෙකු ඉන්නවා. අම්මලා වාගේ. එහෙම දැනුනු පිය චරිතයක් නැ.

“විශ්වවිද්යාල යන කාලෙත් වැඩි පුරම උදව් කරේ, පොත් පත්, මුදල් දුන්නේ දායිකාවො... විශේෂයෙන් කෙනෙකු හිටියා... ඇය මාසිකව පඩියෙන් මට යම් මුදලක් දෙන එක චාරිත්රයක් කරගත්. අද එතුමිය නෑ.“

“කොටින්ම කීවොත්, ඔය උඩු ඇන්දේ ඇතුළට වෙලා තියෙන දත් දෙක කැතයි හාමුදුරුවනේ... කියලා... මට අවුරුදු 3ක් තිස්සේ වැටක් ගහලා ඒක කෙලින් කරෙත් විශේෂ දායක අම්මා කෙනෙක්...“

“පොඩි දවස්වල, සාසනික පිළිවෙළ ගැන කළකිරුණු අවස්ථා තිබුනා... යම් යම් භාහිර හා අභ්යන්තර ගැටලු නිසා... දැන උගත් උපාසක අම්මලා දෙදෙනකු හිටියා, නිතරම කතා කරලා හිත හදපු...“

“ඒක ආයතනයක පත්වීමක් බලාපොරොත්තුව ඉද්දි... මා හා සමාන දක්ෂතා ඇති යුවතියක් හිටියා, ඇය කීවේ... “හාමුදුරුවො... මට වඩා දක්ෂයිනේ. ඕකට ආසයිනේ... මට නොලැබුනත් හාමුදුරුවන්ට ඕක ලැබෙන්නම ඕනි...“ එහෙම පිරිමියෙක් හම්බෙලා නැ සර් තාම. මම හිතන්නේ මමවත් එහෙම හිතන්නෑ අනික් අය ගැන...“

“මුදල් අවශ්යතාවක් ආවා... ලක්ෂයක් විතර, එක් කලෙක, පෞද්ගලික වැඩකට... ම හඳුනන කිසිදු පිරිමියෙක් උදව් කරේ නැ... එහෙත් එක් දායිකාවක් පමණක් මාහට උපකාරී වුනා... ඇය නැවත ඒ මුදල් භාරගත්තෙවත් නැහැ.“

“ගෙදර ගහක ගෙඩියක් හැදිච්ච ගමන් පංසලට දුවගෙන ඇවිල්ලා... අපට පුජා කරලා යන දායිකාවක් ඉන්නවා... “ඇය කියන්නේ... ඔබ වහන්සේලා මගේ බඩින් වැදුවේ නැතුවට... මට දරුවො තමයි කියලා...“

“අපට ඉතා ලෙංගතුව පංසල් පවත්වාගෙන යන්නේ බර පැන දරන්නේ, සමිතවල ඉන්නේ, කාන්තාවො...“ විශාකාව කාලේ පටන් එහෙමයි...“ සුවිශේෂි උපාසක මහත්තුරු කිප දෙනෙක් නැතුව නෙවෙයි. නමුත් 100ක් හිටියොත් 90ක් දායිකාවො... ඇත්තටම පංසල පවතින්නේ දායිකාවන් නිසා...“

“පිරිමින් වඩා ගැහැනුන් ශ්රද්ධාවෙන් වැඩී... සීලයෙනුත්වැඩී... සාපෙක්ෂව පිරිමි පව් කරනවාත් වැඩී... පවට, අපායට, කර්මඵලයට වැඩිය බය පිරිසක් නෙවෙයි පිරිමි...“ ඒ නිසා ධර්මයට වැඩිපුර සමීපත් ගැහැනු...“

“විශ්වවිද්යාල රාජකාරී පැත්තෙන් උදව් කරේ වැඩිපුර ගැහැනු... රෝහලකට ගියත්, ඉදිරියට එන්නේ ගැහැනු,.. බැංකුවකට ගියත් දුටු පමණින් උදව්වට එන්නේ ගැහැනු... කඩෙකට ගියත් එහෙමයි...“ පිරිමි නැහැ නොවේ... එහෙත් අහවල් ලේඛනය නැති නිසා කරන්න බැ කියපු වැඩේ... මෙහෙම කරමු හාමුදුරුවනේ කියලා 95% උදව් කරලා තියෙන්නේ ගැහැනු...“

“සමහර විට පිරිමි හිටගෙන වඳිනකොට, දණගහලා වන්දනා කරන්නෙ ගැහැනු“

“ශ්රී මහා බෝධින් වහන්සේ - දළඳා වහන්සේ ගෙනල්ලා තියෙන්නෙත් ගැහැනුනේ... ඉතිං ශ්රද්ධාව ගැන කුමන කථා ද?

“මොකක් හරි භික්ෂුවක් වැරද්දක් කරලා... ඒක බුකියේ ගියාම... හත්මුතු පරම්පාරව මතක් කරලා... කාපු බීම දේවල් මතක් කරලා.. වැඩි පුරම අපට දොස් කියන්නේ පිරිමි...“

මට විටෙක හිතෙනවා පිරිමි අපට ඊර්ෂ්යායි ද කියලාවත්...
ගමේ කියලත් වෙනසක් නැ... පිංකමකට ප්රධානත්වය නොගත්තාට... විනය විරෝධි වැඩක් කරලා අහුවුනොත්... ඒකට විරුද්ධව පියවර ගන්න මුළුගමම පෙරටුකරගෙන උසිගන්වන්නේත් නම් පිරිමි...“

“දැන් සර් මට කියන්නේ... ගැහැනු ගැන කතා කරන්න එපා කියලා ද?“

“එහෙමයි... කෙළෙහි ගුණ මතක තියෙන එක උතුම් ධර්මතාවක්නේ...“

“ඔව්... (කතඤ්ඤූ කතවේදී පුද්ගලො දුල්ලභො ලෝකස්මිං...) කෙළහිගුණ මතක තියෙන එක දුර්ලභ කාරණාවක්නේ... ඒ මට පෞද්ගලිකව ලැබුනු අත්දැකීම්නේ...“

“මේ රටෙ වැඩිපුර දුක් විදින්නේ ගැහැනු...“

“video leak කරන්නේ පිරිමි... හැබැයි නින්දා විදින්නේ ගැහැනු...“

කසාද බඳිනවා කියලා වැඩිපුරම රැවටෙන්නේ ගැහැනු...

බැන්දාම පිරිසිදු කම හොයන්නේ.. ගැහැනුන්ගේ... පිරිමින්ගේ මොකුත් නෑ...

කසාද බැඳලා ගිහිල්ලා ගෙවල් වල දුක් විදින්නෙත් ගැහැනු... (හැබැයි වැඩිපුරම නැන්දම්මලා නිසා)

අරක්කු බොන්නේ පිරිමි... ගුටිකන්නේ ගැහැනු...

“ ගණිකා ඇසුර පිරිමින්ගේ. නමුත් දෝෂය ගැහැනුන්ට...

බස්වල, කෝචචිවල, අපහසුතාවන්ට පත්වෙන්නේ ගැහැණු...

පිටරටවල් වල ගිහිල්ලා අපහසුතාවන්ට පත් වෙන්නේ ගැහැනු... ආයතනවල රැකියාවලට.. පාසලට... බන්ධනාගාරවලදි... රොහල් වලදි අතවරයට ලක් වෙන්නේ ගැහැනු...

“මේ තත්ත්වය යටතේ කතෝලික සමාජයේ නම් “සිස්ටර්සලා“ ඉන්නවා ඒ අයගේ සමාජ සුභ සිද්ධිය වෙනුවෙන් ඉදිරිපත් වෙන්න...“

“අපේ එහෙම එකකුත් නෑනේ...“ භික්ෂුණිය කියන Title එක පාවිච්චි කරනවාටත් විරුද්ධ අයනේ ඉන්නේ...“ මම කියන්නේ ඛුද්දානුකුද්දක වෙනස් කරගන්න දැයි දේශීත නිසාත්... ඔය භික්ෂූණි උපසම්පාදව දුන්නාට මක් වෙනවාද? අර පීඩිත කාන්තාවන්ට සහනයක් වෙන්න ඒ භික්ෂූණින් පුහුණු කරන්න පුළුවන් නම් කොච්චර හොද මෙහෙවරක් ද?“ මෛත්රී සහගතව සබුද්ධිකව කටයුතු කරනවානම් ඒක නොදීමට හේතුවක් නෑනේ...

“ඉතිං මහත්තයා හිතන්න... පීඩතයා ගැන නේද අපි වැඩිපුර කතා කරන්න ඕනි. ඒකට අපේ පැත්තෙන් නේද හඩ නැගෙන්න ඕනි. අකුරු ඉගෙන ගන්න, වේද මන්ත්රයක් අහන්නවත් නොතිබූ ඉන්දීය ප්රබල කාන්තා විරෝධි සමාජයක...

“ඉත්ථීපි පණ්ඩිතො හෝති තත්ථ තත්ථ විචක්ඛණා කියලා (සමහර තැන්වල ස්ත්රීහු පුරුෂයන්ටත් වඩා බුද්ධිමත් වෙති) ධර්ම අවබෝධයට හා අර්හත් ඵලයට ස්ත්රීපුරුෂ භේදයක් නැ කියලා පෙන්වා දුන් ශාස්තෘවරයාගේ ගෝලයොනේ අපි“

“කිසිවෙකුට පසුගමන් නොගිය උන් වහන්සේ ප්රජාපතියට ඒ ගෞරවය ලබා දුන්නේ... කාන්තාවක් විසින් ලෝකයාට ජන්මය ලබා දීමෙන් කරන්නාවු මෙහෙවර බුද්ධගුණයටත් නොදෙවෙනි බව පෙන්වන්නට නේද?“

“ඉතිං අපේ batch එකට 600ක් පිරිසක් ආවාම... 500ට ආසන්නව හිටියෙ ගැහැනු ලමයි... උගතුන් කියන කොට්ඨාශයට වැඩිපුර අයිති ගැහැනු නේද එතකොට... ඉතිං උගතුන් ගැන කතා කරනවානම් එත් ගැහැනු ගැන කථා කරන්නම වෙනවා...“

“හැබැයි සර් ඉතිං... ඔය ගිරිය පුප්පාගෙන ගෑගහන, හීනමානය නිසා පිරිමි පහත් කරන්නට දඟලන, කසාද කඩාගෙන පිරිමින්ට වෛරකරමින්... එහෙම දඟලන ජාතියේ අය ගාව තියෙන, feminist කමක් නම් මා ගාව නෑ...“

“එහෙත් දැනට පවතින තත්ත්වය තුළ කාන්තාව අසාධාරණයට ලක්වෙනවා කියන එක නම් දැඩිව පිළිගන්නවා...
හැබැයි ඉතිං... වැඩිපුරම කාන්තවට ශරීරිකව අතවර වෙන්නේ, පිරිමින්ගෙන් උනාට, මානසිකව අතවර වෙන්නේ ගැහැණුන්ගෙන්...“

ඒ නිසා ඒ දෙගොල්ලම වෙනස් කරන්න, අකුරින් කළ හැකි දෙයක් මම කරනවා.

තෙරුවන් සරණයි. 


No comments:

Post a Comment

44. 🔴 කළුකුමාර දිෂ්ටිය.

  44.  කළුකුමාර දිෂ්ටිය.  ========= මේ වාගේ සිද්ධි කිහිපයක් පසුගිය කාලේ මට දකින්නට ලැබුනු නිසයි, මම මේ ගැන ලියන්න හිතුවේ. මේ මම එකතුකරගත් දැ...