Wednesday, September 4, 2019

9. දික්කසාදය



බුකියෙන් දිනක් පණිවිඩයක් ලැබුනි.
“හාමුදුරුවනේ පොඩ්ඩක් කතා කරන්න පුළුවන් ද?“
එතුමිය වැදගත් ආයතනය අධ්යක්ෂක තුමිය ලෙස ක්රියා කරන්නියකි. වයස අවුරුදු 52 පමණය. මුදල් හදල් යහමින් උතුරන්නට ඇත. එහෙත් සතුට නැත.
ඇයගේ අවසරය පරිදි මේ ඇයගේ කතාවයි. (උත්තමපුරුෂ දෘෂ්ටියෙන් ලියනු ලැබේ)
-----------------------------------
මම හාමුදුරුවො ලියන ඒවා කියවලා තියෙනවා.
මට ඒ කාලේ මේ වාගේ දේවල් කියවන්න තිබ්බේ නෑනේ.
අද කාලේ නම් උපදෙසක් පිණිස කියවන්න ගොඩක් ගෘප් තියෙනවා. පත්තර තියෙනවා.
මම හිතුමනාපෙට තමයි වැඩ කලේ. මේ කාලේ ඉන්න අයත් මම හිතන්නෑ හාමුදුරුවො වාගේ අය ලියන එව්වා කියවලා ජිවිතය හදගන්නවා ඇති කියලා.
මොකද අපට උපදෙස් ඕනි වැරදුනාට පස්සේ. වරදින්න කලින් අපට එව්වා ගෙන් වැඩක් නැ හාමුදුරුවනේ.
මම දික්කසාද වෙනකොට අවුරුදු මට අවුරුදු 28 පිරුණා විතරයි
මම හිතන්නේ මගේ ඔලුවට ඒක ආවේ මම අසුරු කරපු යාලුවො එක්ක.
ස්වාමීන් වහන්සේලා බණට කියනවා නේද ‘කල්යාණ මිත්ර ඇසුර ඕනි‘ කියලා. ඒක හරියම හරි හාමුදුරුවනේ.
මේ වැඩ කරන තැන මගේ හොදම යාලුවො දෙන්නෙක් වෙලා හිටියේ දික්කසාද වෙච්චි අක්කලා දෙන්නෙක්.
එයලා පුදුම නිදහසක් භුක්ති විදපු අය. ඒ දවස්වල එයලාට බොයි ෆෙරෙන්ස්ලා දෙක තුන ගානේ හිටියා. නීති දාන්න කවුරුත් නැ. සල්ලි වියදම් කරන විදිහ ගැන හොයන්න කවුරුත් හිටියේ නැ. සල්ලි හොයන්නයි ඕනි. කොටිනම් කීවොත් ස්ථීර බැඳීමක් කියන්නේ එයාලට අනුව බෙල්ල හිරකරපු තොණ්ඩුවක්.
මම එයාලගේ ජිවිතයේ නිදහස ගැන හරි ලෝභයෙන් හිටියේ.
මට ඒකට චාන්ස් එකක් ආවා හාමුදුරුවෙනේ. ඒ තමයි මගේ මහත්තයාට ඔෆිස් එකේ සම්බන්ධයක් තියෙනවා කියලා මට පණිවිඩයක් ආවා.
අපේ මහත්තයා මට ආදරෙන් හිටිය කෙනෙක්. අපි ආදරය කරලා තමයි බැන්දේ. මගේ කට ටිකක් සැරයි. ටිකක් නෙවෙයි මම හිතන්නේ හොදටම සැරයි. ඒයා එකක් කිවොත් මම දහයක් කියනවා.
එයා මට ගොඩක් ආදරෙන් හිටියා. එත් මම අර යාලුවො දෙන්නා එක්ක රවුම් ගහන එක ගැන එයා කොහොමටවත් කැමැති වුනේ නැ.
එයලා ගැන එක එක කතා අපේ මහත්තයාට ආරංචි වෙලා තිබ්බා. මම කිවේ “මම වැරදි දේවල් කරන් නැත්තං ඔයාට අවුලක් නැ නේද“. කියලා
එයා කීවේ. ‘බූරු ගැහුවත් එකයි, ගහන තැන හිටියත් එකයි කියලා“
ඔය කාරණාව එක්ක මා ගැන කතා කරද්දි මම කේන්ති අරගෙන බනිනවා.
සමහර විට එක දිගට දවස් ගාණක් කියවන්න මට ඕක ඇති.
මම දැනගෙන හිටියේ නැ මගේ කියවිල්ල නිසා එයාගේ ආදරේ වෙනස් වෙයි කියලා.
එයා ඒ ප්රශ්න කියවන්න කෙනෙක් හොයාගෙන. එයාගේ ඔෆිස් එකෙන්. අලුත වැඩට ආපු කෙල්ලක්.
මම අදටත් දන්නෑ ඒ කෙල්ල එක්ක මෙයා එකට හිටියාද නැද්ද කියලවත්.
හැබැයි ඒයා එක්ක ඉද්දි මට අහුවුනා. ඒදා තමයි නියම යකා එලියට පැන්නේ.
ඒ වෙනකොට මගේ දෝණිට අවුරුදු 4ක් විතර ඇති. දෝණි එක්ක පුදුම ආදරයක් එයා තිබ්බේ. දෝණි එයාගේ පණ.
මේ සිද්ධිය එක්ක මට ඕනි උනා එයාගෙන් ඩිවොස් වෙන්න. මමමයි නඩු දැම්මේ.
එයා කිව්වා දෝණි එයාට දෙනවනං දික්කාසාදය දෙන්නම් කියලා. මට ඕනි වුනා එයාට තවත් රිද්දන්න.
මම එයාගේ හොර සම්බන්ධයක් තියෙනවා කියලා ඔප්පුකරවලා දරුවා හදාගන්න සුදුසු මමමයි කියලා ඔප්පු කරලා මම දරුවා එයාගෙන් වෙන් කරා.
අන්තිම දවස්වල එයා මගේ පස්සෙන් ඇවිල්ලා වැන්දත් එක්ක දරුවා එයාට දෙන්න කියලා.
ඒ විතරක් නෙවෙයි දරුවා ලොකු වෙනකොට මට පුළුවන් වුනා එයාලේ ඔලුවට විෂබීජ දාලා තාත්තා එයාට එපා කරවන්න. තාත්තා සල්ලාලයෙක් විදිහට දකින්න මගේ දරුවව මම පුරුදු කලා.
ඩිවොස් එකෙන් පස්සේ මමත් කුරුල්ලෙක් වාගේ ජිවත් වුනා. මටත් පුළුවන් වුනා බොයි ෆෙරෙන්ඩ් කෙනෙක් හොයාගන්න. එයා එපා වුනේ මාස හය හතකින් වාගේ. එයාට ඕනි වුනේ මගේ සල්ලි විතරයි. ඊළගට හම්බුනු කෙනාට ටික කාලයක් යද්දි
තවත් කෙනෙක් ඉන්නවා කියලා ආරංචි වුනා.
ඇත්තටම කිවොත් 35 විතර වෙනකොට මට ජිවිතය ඇති වෙන්න ගත්තා. ගෙදර මායි දුවයි විතරයි. එයත් ලොකු වෙන්න වෙන්න මාත් එක්ක එච්චර ලොකු සම්බන්ධයක් තිබ්බේ නැ.
එයා කොරියන් language කෙරේ. එයා කොරියන් ගියා. මම වලක්වන්න හැදුවා. එත් එයාට යන්නම ඕනි කම තිබ්බා. දැන් එයා එහෙන් බැදලා. එහේ ඉන්නේ.
එයාගේ හිතුමනාපෙට බැන්දේ. ඒයාට තියෙන්නේ මගේ වාගේම හිතුවක්කාර ගතුගුණ.
මට සහෝදර සහෝදරියො කවුරුත් නැ.
ඒ නිසා මම තනියමයි ඉන්නේ. නෑදෑයො ටික්ක ඉන්නවා එත් මම ලොකු සම්බන්ධයක් නැ. එයාලා මම නරක ගෑනියෙක් විදිහට තමයි දකින්නේ මගේ තිබ්බ සම්බන්ධකම් එක්ක.
අපි ඩිවොස් වෙලා කාලයක් ගියාට පස්සේ මම මගේ මහත්තයා ගැන හොයලා බැලුවා. එයා අර කියන ගෑනු ලමයා එක්ක සම්බන්ධයක් තිබ්බාට එයාව බැදලා නැ. එයා දැන් ජිවත් වෙන්නේ එයාගේ නංගි එක්ක.
නංගිලාගේ ගෙදරට අල්ලපු ගෙදර එයා ගෙයක් අරගෙන ජිවත් වෙනවා. නංගිලාගේ ලමයින්ට එයාගේ ලමයි වාගේ සලකනවා කියලා ආරංචි වුනේ.
දැනට අවුරුදු 3කට විතර වාගේ කලින් මට එයාව අනුරාධපුරේදි හම්බුනා. එයත් පිච්චමල් පුජාවට ඇවිල්ල හිටිය එයාගේ නංගිලා එක්ක. මම ගියේ මගේ යාලුවෙක් එක්ක.
එයා මාත් එක්ක ගොඩක් කතා කරා. මම කිවා පුළුවන්නම් එන්න කියලා මං ගාවට.
එයා කිවා “මගේ දරුවා මගෙන් වෙන් කරපු පව ඔයා ගෙවනවා. “ ඒක තනියම ඔයාම ගෙවන්න. මගේ තරහක් නැ ඔයා එකක් කියලා.
එයා මට වඩා තරුණ පාටට පෙනුනා. සමහරවිට එයා සතුටින් සිටින නිසා වෙන්නැති.
මගේ බිස්න්ස් හොදටම හොදයි. මට සල්ලි තියෙනවා. එත් මට සතුට නැ. ගෙදර ගියාම කනත්තක් වාගේ. මගේ දුව මගේ ගාව නැ. නෑයො මං දිහා බලන්නේ ගණිකාවක් දිහා බලනවා වාගේ.
මම දැන් හැම පෝයටම සිල් ගන්නවා. මගේ පව් ඊළග ආත්මයටවත් අරගෙන නොයන්න. ඉස්සර මම හුඟක් බීපු නිසා මට ලෙඩ කීපයකුත් තියෙනවා.
පංසලේදි හම්බුනු යාලුවො කිප දෙනෙක් එක්ක මම දැන් නිතර වන්දනාවේ යනවා. අපේ පවුලේ කවුරුත් වයස 70ට මෙහා මැරිලා නැ. මමත් එච්චර කල් ජිවත් වෙයි කියලා බයෙන් ඉන්නේ හාමුදුරුවනේ. මම කොහොමද කවුරුත් නැතුව තවත් අවුරුදු 20ක් ජිවත් වෙන්නේ.?
----------------------------------------------
මගේ අදහස.
=========
ආවේග කළමණාකරය වැදගත් ඉගැනීමක්. ඒ සඳහා බුදුසමයේ පවතින ඉගැන්වීම් බණකට දේශනා වීම ඇරුනු කොට උපදේශනයදී පමණක් ඉගැන්වෙන විෂයයක්.
අධ්යාපන ක්රමවේදයෙදී ආවේග කළමණාකරනය ගැන කොයි තරම් ඉගැන්වෙනවා දැයි මම නොදනිමි.
අපගේ කෝපය අපගේ පරම සතුරාය. කෝපාන්විත අප පිටකරන වචන මගින් තවකෙකුගේ හදවත බිද දමයි.
එම අපහසාත්මක දුෂ්ට වචන පපුවේ ඇනී පැසවන්නට ගත් කළ අනිකා කෙරෙහි පවතින ආලාය කෙමෙන් කෙමෙන් දුරුව යයි.
වචන පරිස්සං කරගත යුතුය.
තරුණ මදය ඇති කල, නොගැලපීම් කීපයක් හමුවූ පමණින් තමන්ට රැකියාවක් ඇති හෙයින් බොහො යුවතියන් දික්කසාදය යොමු වේ.
එහෙත් යම් වයසක් ඉකුත්ව ගිය කළ බැඳීමක වටිනාකම දැනේනට ගනී.
තරුණ කලදී තරණ මදය හේතුවෙන් කුමන ආකල්ප වලින් යුතු වුවත් වයසට යන විට ඒවා ක්රමයෙන් වෙනස් වේ.
අත්දැක්ම් හේතුවෙන් වඩා ඉවසන, වඩා ආදරණීයන් වැඩිහිටියන් වන්නට ඇති හැකියාව ඉතා ඉහළය. ඒ තෙක් අල්ලාගෙන සිටිම, දරාගෙන සිටීම කළ යුතුය.
මගේ ජිවිතයේ පිංකම්වලට පැමිණෙන එවැනි වයස් ගත යුවලවල් අපමණ දැක ඇත. ඔවුන්ගේ සැදෑ සමය අපූරුය.
රැකියාව - මුදල් - තරුණ මදය මත ස්වාමියාගේ වරදක් සිදු වූ සැනෙනින් දික්කාසාදය නොයිල්වන කාන්තාවක් වීම පහසු නැත. ඊට හිත හදාගැනීම පහසු නැත. එසේ ඉක්මන් නොවන ලෙස මතක් කරමි.
(සත්ය කතා කිහිපයක් පදනම් කර ගත්, උපදේශනාත්මක අවශ්යතාවය පිණිස, අනන්යතාවය හඳුනා ගත නො හැකි සේ, නිර්මාණය කරන ලද කල්පිතයක් බව කරුණාවෙන් සලකන්න)
තෙරුවන් සරණයි.


No comments:

Post a Comment

44. 🔴 කළුකුමාර දිෂ්ටිය.

  44.  කළුකුමාර දිෂ්ටිය.  ========= මේ වාගේ සිද්ධි කිහිපයක් පසුගිය කාලේ මට දකින්නට ලැබුනු නිසයි, මම මේ ගැන ලියන්න හිතුවේ. මේ මම එකතුකරගත් දැ...